.webp)
-602360.jpg)
COLOMBO (News 1st) - 80 වැනි එක්සත් ජාතීන්ගේ දිනය අදට යෙදී තිබේ.
මෙවර එහි තේමාව එකාවන්ව අනාගතය ගොඩනගමු යන්නයි.
ලොව පුමුඛතම විශ්වීය සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටවූයේ 1945 වසරේ ඔක්තොම්බර් 24 වැනිදාය.
ඒ ලෝක යුද්ධ දෙකක් නිමවිමෙන් පසු ස්ථිර සාර සාමයක් උදා කීරීම සඳහා ලොව රටවල් එකමුතු කිරීමේ අටියෙන්.
ආරම්භයේදි සාමාජික රටවල් 50 කින් සමන්විත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය මේ වනවිට ලබා ගෙන ඇති රටවල් සංඛ්‍යාව 193 ක්.
ගෙවුණු දශක අටක කාලයේදී ලොව පුරා සාමය, මානව හිමිකම් හා සමාජ ප්‍රගතිය ප්‍රවර්ධනයට එක්සත් ජාතීන් අසීමිත කැපකිරීමක් කරන ලදි.
ඒ ඊට අනුබද්ධ ආයතන 15ක ද සහය ලබා ගනිමිනි.
1955 වසරේදී ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගන්නා ලදි.
පිහිටුවා දශක 08 ක් සපිරෙන මේ අවස්ථාවේ එක්සත් ජාතීන් අභියෝග රැසකට මුහුණ දී සිටී.
එම අභියෝග සැලකිල්ලට ගෙන 2030 න්‍යාය පත්‍රය - අනාගතය සඳහා වූ සම්මුතිය හා UN 80 සඳහා වූ ප්‍රවේශය යන තේමාව ඔස්සේ එක්සත් ජාතීන් ජාත්‍යන්තර සහයෝගීතව වඩා පුළුල් කරමින් ලොව නන්දෙස විසිර සිටින ජනතාව වෙත සමීපවීම සඳහා ශක්තිමත් වෙමින් සිටී.
එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටියරෙස් මහතා සඳහන් කළේ මෙය බියගුලු කමට හෝ පසුබැසීමට කාලය නොවන බවය.
අන් කවරදාටත් වඩා කිසිදු ජාතියකට තනිවම විසිඳිය නොහැකි ගැටලු විසඳීමට ලෝකය නැවත කැපවිය යුතු බව සිය පණිවුඩයෙන් මහ ලේකම්වරයා අවධාරණය කර සිටී.
