ඉවත්කළ වාහන 76ක් යුද්ධ හමුදාවෙන් නවීකරණය කර සේවයට

භාවිතයෙන් ඉවත්කළ රථ වාහන 76ක් යුද්ධ හමුදාවෙන් නවීකරණය කර සේවයට එක්කරයි - මසකට රුපියල් මිලියන දහයක ඉතිරියක්

by Staff writer 24-10-2025 | 4:12 PM

COLOMBO (News 1st) - 

යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි  නවීකරණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු කරන තිබේ.  

එම රථවාහන 2025 ඔක්තෝබර් මස 24 (අද) දින සිට නැවත යුද්ධ හමුදාවේ භාවිතයට යොදා ගැනීමට නියමිතයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ නවීකරණය කල මෙම වාහන නැවත යුද්ධ හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීම තුලින් යුද්ධ හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.

තවද මෙම වාහන නැවත භාවිතයට යෙදවීම තුලින් යුද්ධ හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන සඳහා මාසිකව වැයකරන රුපියල් මිලියන 10 ක පමණ මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි කර දීමටත් එම මුදල් යුද්ධ හමුදාවේ සහ රටේ දියුණුව සඳහා යෙදවීමටත් හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ට්‍රක් රථ, බස් රථ, වතුර බවුසර්, යුනි බෆල් රථ, කැබ් රථ, ගිලන් රථ, වෑන් රථ, ගලි බවුසර් ඇතුළු වාහන 76ක් මෙලෙස නවීකරණය කර  යළි සේවයට එක් කරන ලදී.