.webp)

COLOMBO (News 1st) - පිටකොටුව ප්රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් රුපියල් කෝටි 2කට අධික මුදලක් එහි සේවකයකු විසින් බැංකු ගතකිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදු වූ බවට හැඟීයන පරිදි සැලසුම් කර, එම මුදල් පැහැරගත් කියන කාන්තාවක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇත්තේ පෑලියගොඩ නාරංමිණිය ප්රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකටයුතු ත්රීරෝද රථයක් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදීය.
එහිදී ත්රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු සන්තකයේ තිබූ බෑගයක තිබී රුපියල් ලක්ෂ 30ක මුදලක් සොයා ගෙන තිබේ.
අදාළ මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත වැඩිදුර විමර්ශන සඳහා එම පුද්ගලයා සහ ත්රීරෝද රථයේ රියදුරු ත්රීරෝද රථයද සමග අත්අඩංගුවට ගැනුණි.
ඔවුන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලින් අණාවරණ කර ගත් තොරතුරු මත එම අපරාධයට සම්බන්ධ බව කියන සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 15 ක් සමගය.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 05කු රුපියල් දෙකෝටි විසි දෙලක්ෂ හතලිස් පන්දාහක මුදලක් සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 45 ත් අතර පසුවන අතර කාන්තාවගේ වයස අවුරුදු 60 ක්.
ඔවුන් කැලණිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, මාවනැල්ල හා කඩවත ප්රදේශවල පදිංචිකරුවන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැලනිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
