අද දිනයේත් ප්‍රදේශ රැසකට තද වැසි

අද දිනයේත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

by Staff writer 22-10-2025 | 8:59 AM

COLOMBO(News1st) - බස්නාහිර , සබරගමුව , මධ්‍යම , වයඹ සහ දකුණු පළාත් වලට අද දිනයේත්  මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ , දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ය.

එය තවදුරටත් වර්ධනය වෙමින් ඉන්දියාව දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි

අඩු පීඩන කලාපය හේතුවෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන පිරිස් විමසිලිමත් විය යුතු බවද මෙරිල් මෙන්ඩිස් මහතා දැනුම් දෙයි.

අධික වර්ෂාවත් සමග කළු, නිල්වලා, කැලණි ගංගා ඇතුළු ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ අගයක ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා සහ ආපදා කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස්.සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව ගංගා දෙපස ජනතාව අවධානයෙන් සිටින ලෙසයි.

මේ අතර අධික වර්ෂාවත් සමග රාජංගනය,කලා වැව, තබ්බෝව හා දැදුරු ඔය ඇතුළු ප්‍රධාන ජලාශ 15 ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වාන් දමමින් පවතින මධ්‍ය පරිමාණ ජලාශ සංඛ්‍යාව පහකි.

අධික වැසි සහිත කාලගුණයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් දිස්ත්‍රික්ක12ක පුද්ගලයින් 9392 දෙනෙකුට බලපෑම් එල්ලවී තිබේ.

නිවාස 377 කට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

එම මධ්‍යස්ථානය පැවසුවේ ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි

මේ අතර දිස්ත්‍රික්ක 11 කට නිකුත් කල නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක කර තිබේ.

ගාල්ල , මාතර , කළුතර , මහනුවර , කෑගල්ල , රත්නපුර , බදුල්ල , කොළඹ , කුරුණෑගල , මාතලේ සහ  නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්. වේ.