.webp)
COLOMBO (News 1st) - සමගි ජන බලවේගය සමග සාකච්ඡා කිරීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට, එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව, අද නිවේදනය කළේ ය.
එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම සිය ස්ථාවරය බවයි.
එම නිවේදනයට අනුව සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීම සදහා පත් කර ඇත්තේ පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල සහ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් ය.
පසුගිය 09 වැනිදා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කළේ ය.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට කමිටුවක් පත් කෙරුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
ඉරාන් වික්‍රමරත්න, මුජිබර් රහුමාන් සහ එස්.එම් මරික්කාර් යන මහත්වරුන්, කමිටුවේ සෙසු සාමාජිකයින් ය.