ගුණරත්න වන්නිනායකගේ පෙත්සම යළි කැඳවීමට දින නියමවේ

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් 10 වැනිදා යළි කැඳවීමට දින නියම කෙරේ..

by Staff writer 16-10-2025 | 3:14 PM

COLOMBO( NEWS1ST ) 

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් මස 10 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද දින නියම කළේ ය.

පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවේ ය.

එහිදී පෙත්සම්කාර නීතීඥ වන්නිනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා ඊයේ දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ, මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය යන මහත්වරු ද එම ඉල්ලීමට එකඟතාවය පළ කළේ ය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම යළි නොවැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළේ ය.