නීතීඥ ගුණරත්න වන්නිනායකට ඇප..

නීතීඥ ගුණරත්න වන්නිනායකට රු.ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරී..

by Staff writer 15-10-2025 | 6:44 PM

COLOMBO (News 1st) - අද පස්වරුවේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණි.

ඒ , ඔහු අද පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.

හෙට පෙරවරු 9ට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට එහි ස්ථානාධිපතිවරයාට ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා සැකකාර නීතීඥවරයාට නියෝග කළේ ය.

පසුගිය සිකුරාදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී ඇතිවූ සිදුවීමක් මුල්කරගෙන පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුලු කරුණු කිහිපයක් මත පොලිසිය නීතීඥ ගුනරත්න වන්නිනායක මහතාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

මේ අතරතුර වන්නිනායක මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක්ද ගොනු කළ අතර අද පෙරවරුවේ එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ සලකා බැලුනි.

එහිදී වන්නිනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා දැනුම් දුන්නේ සිය සේවාදායකයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්වීමට සූදානම් බවය.

නීතිපතිවරයා වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන්ද මෙහිදී නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළේ ය.

පාර්ශ්වයන් ඉදිරිපත් කල කරුණු සළකා බැලීමෙන් පසුව සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා විවෘත අධිකරණයේ කියා සිටියේ, විමර්ශනයකට අදාලව පුද්ගලයකු අත්අඩංගුට ගැනීම හෝ නොගැනීම සම්බන්ධව නියෝග නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නැති බවය.

උපුටා ගැනීම

“මෙම සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් හුවමාරු වෙනවා. එහි තිබෙන තත්ත්වය ඉතාම කණගාටුදායකයි. නීතිඥ වෘත්තියේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා විනය රැකීම ඉතාම වැදගත්. එසේ නොවුනොත් මේ වෘත්තීයේ ගරුත්වය බිඳවැටෙනවා. මෙම ක්‍රියාව කිසිසේත්ම අනුමත කරන්න බැහැ. වර්තමානයේ විශාල තරුණ නීතීඥ ප්‍රජාවක් සිටිනවා. ඔවුන් මෙවැනි ක්‍රියා පූර්වාදර්ශයට ගතහොත්  භයානක තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ. ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ විමර්ශන නිලධාරීන්."

උපුටා ගැනීම අවසන්.

අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත්වීම වඩාත් සුදුසු බවය.

උපුටා ගැනීම

"මෙවැනි අතුරු තහනම් නියෝග ලබා දුනහොත් ඒ තුළින් වැරදි පූර්වාදර්ශ මතුවෙන්න පුළුවන්. ඒක සුදුසු නෑ. කෙහෙල්බද්දර පද්මෙත් දැන් මේ අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරලා තියෙන්නේ. එම නිසා පෙත්සම්කාර නීතිඥවරයා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී මෙම කරුණ නිරාකරණය ගැනීම සුදුසුයි.”

උපුටා ගැනීම අවසන්.  

පෙත්සම හෙට පස්වරුව 1.30 ට නැවත කැදවීමට අභියාචනාධිකරණය නියම කල අතර පසුව නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණි.

ඔහු අධිකරණයට පැමිණියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟින්.

එහිදී සැකකාර නීතිඥ ගුනරත්න වන්නිනායක මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙන්වා දුන්නේ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරයෙකුට පහරදීමක් සිදුකර තිබූ බවය.

උපුටා ගැනීම

“ස්වාමීනී, ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු අවස්ථාව නෙමේ මේ පොලිස් නිළධාරීන් නීතීඥවරුන් හට පහර දීමක් සිදුකළ. නමුත් මේ සිද්ධිය බරපතල තත්ත්වයක් දක්වා උත්සන්න වුණා. පොලීසියේ සිටින නිළධාරීන් 95%ක් පමණ සිටින්නේ වැදගත් නිළධාරීන්. ඉතුරු සුළු නිළධාරීන් පිරිසකගේ තමා මේ වගේ කනගාටුදායක හැසීරීම් දකින්නට තිබෙන්නේ. නීතීඥ ගුණරත්න වන්නිනායක සහ ඔහුගේ කනිෂ්ඨ නීතී‍ඥ සංජීව ඇන්තනී මහතා නඩු කටයුතු අවසන් කර ඔවුන්ගේ වාහනයෙන් මේ උසාවි භුමියෙන් පිටව යන අවස්ථාවේ මේ පහර දීම සිදු වෙන්නේ.ගුණරත්න වන්නිනායක මහතාගේ කනිෂ්ඨ නීතීඥ සංජීව ඇන්තනී මහතාට තමා පහර දීම සිදු වන්නේ. ඒ පහර දීමෙන් පසුව ගුණරත්න වන්නිනායක මහතා හා ඒ නිළධාරීයා අතර වචන හුවමාරුවක් සිදුවන්නේ.මේ සිද්ධිය ස්වාමීනී අපේ වෘත්තීය ගරුත්වයට සිදු වූ විශාල හානියක්."

උපුටා ගැනීම අවසන්.

වන්නිනායක මහතාට නගා ඇති චෝදනා පිළිබඳවත් ජනාධිපති නීතිඥවරයා එහිදි කරුණු පැහැදිලි කරන ලදි.

උපුටා ගැනීම

"දණ්ඪ නිතී සංග්‍රහයේ 287 කියන්නේ අසභ්‍ය ගීත ගායනා කිරීම. මේ නීතීඥ මහතා ගීත ගායනා කිරීමක් නම් ඒ අවස්ථාවේදී සිදු වූයේ නෑ. ඒ වගේම ස්වාමීනී බරපතල ගණයේ පතාලේ පිරිස් අලන්න තියෙද්දී මොහුව අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 3,4ක්ම දාලා. පොලිස් නිළධාරීන් ඔවුන්ගේ රාජකාරි බලතල අවභාවිතා කිරීමක් මේක. මේක පොලීසිය සහ නීතීඥවරු අතර ගැටුමක් නොවේ. මේක අපගේ වෘත්තීය ගරුත්වය පිළිබඳ ගැටළුවක්. අපි මීට පෙර නඩු දින කිව්වා ඊළඟ නඩු දිනයේ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වෙනවා කියලා. එහෙම තියෙද්දී සර්ච් වොරන්ට් එකක් නැතුවම මෙතුමාගේ ගෙදරටත් ගිහින් පොලීසිය. කවදාවත් නැතුව අද ගාලු පාරේ තැන් දෙකක විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යන එන වාහන චෙක් කරනවා. ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට ගන්න ඒ චෙක් කලේ. රාජ්‍ය නිළධාරීන් මේ ආකරයෙන් හැසිරවිය යුතු නෑ. ගුණරත්න වන්නිනායක මහතාට යම්කිසි පහර දීමක් අත්අඩංගුවට ගැනීමක් සිදුවීමේ සම්භාවිතාවක් තිබුණා. ඒ නිසයි නිතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිතීඥවරු පිරිසක් එක්ක ඔහු අධිකරණයට ඉදිරිපත් වුණේ."

උපුටා ගැනීම අවසන්.

නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නිතීඥ රජීව් අමරසූරිය මහතා  සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධව සලකා බලන ලෙස ඉල්ලීමක් කළේ ය.

උපුටා ගැනීම

“ පොලීසිය සහ නීතීඥවරු කියන අපි දෙපිරිසම ඉන්නේ එකම පද්ධතියේ. ස්වාමීනී මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ පද්ධතිය ඇතුලේමයි. මේ සිද්ධියෙන් මේ පද්ධතියට විශාල හානියක් සිදුවුණා. අනවශ්‍ය ලෙස මේ ප්‍රශ්නය ඉදිරියට ගිහින්. ඒක නොවිය යුත්තක්. ඇත්තම කිව්වොත් ස්වාමීනී මේක ගෙදර ප්‍රශ්නයක්. ඒ නිසා මේක දැන් සමථයකට පත්විය යුතුයි."

උපුටා ගැනීම අවසන්.

සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමක් කළ බවට කරුණු අණාවරණයක් සිදුවුවහොත් ඇප අවංලගු කිරීමට පියවර ගන්නා බවද මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.