අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

2025.10.13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

by Staff writer 14-10-2025 | 3:42 PM

COLOMBO (News1st) - අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා ඉඩමක් පවරා දීම
- කුලියාපිටියේ පිහිටුවනු ලැබ ඇති ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් සිය රෝහල් පාදක අධ්‍යයන කටයුතු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු කරනු ලැබේ. අධ්‍යයන කණ්ඩායම් 03කට අයත් වෛද්‍ය සිසුන්ට නේවාසික පහසුකම් සැපයීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල ආශ්‍රිතව වයඹ විශ්වවිද්‍යාලය සතුව නේවාසිකාගාරයක් නොමැති බැවින්, එම සිසුන්හට පුද්ගලිකව නේවාසික පහසුකම් සපයා ගැනීමට සිදුව ඇත. එබැවින්, එම සිසුන්හට දිවා හා රාත්‍රී කාලයේදී කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පහසුවෙන් ළඟා වීමට හැකි ආරක්ෂිත ස්ථානයක නේවාසිකාගාරයක් ඉදිකිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී තිබේ. ඒ අනුව, එම නේවාසිකාගාරය ඉදිකිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගල බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි රජයට අයත් පර්චස් 80ක ඉඩම් කොටසක් රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වන වගන්තිය ප්‍රකාරව නිදහස් දීමනාවක් ලෙස ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය පිහිටා ඇති ඉඩම් කොටස එම විශ්වවිද්‍යාලය වෙත පවරා දීම
- සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුඳුවත්ත ග්‍රාම නිලධාරි වසමේ කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ අංක 46 දරන රජයේ ඉඩමේ ස්ථාපනය කර තිබේ. දෘශ්‍ය කලා පීඨයේ අධ්‍යාපනය ලබන 643ක් පමණ වන සිසුන්ගේ ප්‍රායෝගික සහ අධ්‍යයන කුසලතා සංවර්ධනය සඳහා ප්‍රමාණවත් පරිදි භෞතික පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස එම පීඨය ස්ථාපිත ඉඩමේ නෛතික හිමිකම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සතු විය යුතු වේ. එබැවින්, දෘශ්‍ය කලා පීඨය විසින් දැනට භුක්ති විඳිනු ලබන හෙක්ටයාර 0.6277ක් වූ රජයේ ඉඩම් කොටස රජයේ ඉඩම් අඥාපනතේ 6(1) වන වගන්තිය ප්‍රකාරව නිදහස් දීමනාවක් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


'ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්' (SL GAP) සඳහා පොදු ලාංඡනයක් හඳුන්වා දීම සහ පොදු 'බලයලත් ඒකකයක්' පිහිටුවීම
- 'ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්' (SL GAP) වැඩසටහන 2015 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. එම වැඩසටහන මඟින් ආහාර සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීම, වාණිජ මට්ටමින් බෝග වගාවේ නියැලෙන ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිය තහවුරු කිරීම සහ කෘෂි බෝග නිෂ්පාදනය කිරීමේදී වගාවට යොදන කෘෂි රසායන හා අනෙකුත් යෙදවුම් අවම මට්ටමකින් භාවිත කිරීම මඟින් පාරිසරික තිරසරභාවය ඉහළ දැමීම හා ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත අස්වැන්නක් ලබා ගැනීම අපේක්ෂා කරනු ලබයි. දැනට SL GAP වැඩසටහන සඳහා භාවිත කරනු ලබන ලාංඡනයේ බලධාරිත්වය 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සතු වන බැවින්, එම ලාංඡනය සමඟ 'කෘෂිකර්ම දෙපාර්තමේන්තුව' නාමය ද යොදා ගනු ලැබේ. SL GAP වැඩසටහන සෑම කෘෂි බෝගයක්ම ආවරණය වන පරිදි පුළුල් කළ යුතුව පවතින අතර, විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන විසින් එක් එක් බෝග සඳහා SL GAP ලාංඡනය විවිධ අයුරින් භාවිත කිරීම හා වෙන් වෙන්ව බලයලත් ඒකක යොදා ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවට, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ පොදු ලාංඡනයක් යටතේ පොදු බලයලත් ඒකකයක් පිහිටුවා ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගෝලීය සහතිකකරණයේදී වඩාත් වාසිදායක වනු ඇති බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එක් පොදු ලාංඡනයක් හඳුන්වා දීමටත්, බලයලත් ඒකකය ලෙස (Scheme Owners) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් පත් කිරීමටත්, අදාළ අනෙකුත් අමාත්‍යාංශ සහ ආයතන යටතේ SL GAP වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් උපඒකක ස්ථාපිත කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන
- අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් සමාජ කාණ්ඩවලට අයත් පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. එකී අස්වැසුම ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මුල්‍ය හා තාක්ෂණික සහාය මත නියමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරි වසම්වල එය ක්‍රියාත්මක කරනු ලැබේ. එම නියමු ව්‍යාපෘතිවල ක්‍රමවේදය අනුව හඳුනාගත් දුප්පත් හා අන්ත දුප්පත් පවුල් ඒකකයක් වෙත ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා සැලැස්ම මත පදනම්ව හා ඔවුන් සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව රුපියල් 150,000ක උපරිමයකට යටත්ව මුල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එකී නියමු වැඩසටහන යටතේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 143ක ග්‍රාම නිලධාරි වසම් 839ක පදිංචි පවුල් අතරින්  තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභී පවුල් 23,775ක් වෙත 2025 සිට 2027 දක්වා වන කාලරාමුව තුළ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීම සඳහා යෝජිත මූල්‍ය ප්‍රදානය ලබා දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හයිඩ්‍රොෆ්ලෝරොකාබන් ශ්‍රේණියේ රසායනික ද්‍රව්‍ය අදියරගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානයේ කිගාලි සංශෝධනයට අනුරූප ජාතික වගකීම් ඉටු කිරීම
- 2018 වර්ෂයේ  දී ශ්‍රී ලංකාව හයිඩ්‍රොෆ්ලෝරොකාබන් ශ්‍රේණියේ රසායනික ද්‍රව්‍යයන් අදියරගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානයේ කිගාලි සංශෝධනය අපරානුමත කර ඇත. එම සංශෝධනය අනුව, හයිඩ්‍රොෆ්ලෝරොකාබන් ශ්‍රේණියේ රසායනික ද්‍රව්‍යයන් නිෂ්පාදනය නොකරන සහ උෂ්ණාධික නොවන සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් එකී රසායනික ද්‍රව්‍යයන් අදියරගතව සීමා කිරීම 2024 වර්ෂයේදී ආරම්භ කර 2045 වන විට 80%කින් අවම කළ යුතුව ඇත. තව ද, එම රසායන ද්‍රව්‍යයන් භාවිත කිරීම 2024-01-01 දින සිට කෝටා ක්‍රමවේදයක් හරහා පාලනය කර තිබේ. ශ්‍රී ලංකාව වෙත ආනයනය කරනු ලබන අදාළ රසායනික ද්‍රව්‍යයන් ශීතකරණ, වායුසමන හා ජංගම වායුසමන අංශවල ශීතකාරකයක් ලෙසත්, කෘෂි, ධීවර, සෞඛ්‍ය, සංචාරක, ප්‍රවාහන, කර්මාන්ත, නිවාස හා ඉදිකිරීම් ඇතුළු විවිධ අංශවල යෙදවුම් කිහිපයක් සඳහාත් භාවිත කරනු ලබයි. එබැවින්, දේශීය කර්මාන්තවල තිරසරබව හා පිරිවැය ඵලදායීතාව සැලකිල්ලට ගනිමින් අදාළ ආනයන සම්බන්ධයෙන් නව රෙගුලාසි පැනවිය යුතු වේ. එමෙන්ම, ආනයනය කරනු ලබන එකී රසායනික ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය සඳහා සීමා පැනවීම සහ ආනයනය කරන ලද සියලුම ප්‍රමාණ මෙරට පරිභෝජනය සඳහා පමණක් භාවිත කිරීම සම්බන්ධයෙන් ද නව ප්‍රතිපත්ති සහ නීති රෙගුලාසි හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, හයිඩ්‍රොෆ්ලෝරොකාබන් ශුද්ධ රසායනික ද්‍රව්‍යය සහ එම රසායන ද්‍රව්‍යය අඩංගු සියලුම මිශ්‍රණ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, ශ්‍රී ලංකාවෙන් අපනයනය හෝ ප්‍රතිඅපනයනය කිරීම පාලනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ නීති රෙගුලාසි පැනවීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සුරාබදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
- සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද, ඒකාබද්ධ වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් ආදායම් පරිපාලන පද්ධතියක් ස්ථාපිත කිරීම පිණිස ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා 2024-05-22 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. එකී පද්ධතිය මඟින්, බාධාවකින් තොරව දත්ත හුවමාරු කිරීම, අවදානම් කළමනාකරණය, ආදායම් තුලිතකරණය, ඉහළ නංවන ලද විනිවිදභාවය සහ වගවීම සක්‍රීය කිරීම අපේක්ෂා කරනු ලැබේ. එකී ආදායම් පරිපාලන පද්ධතිය ප්‍රසම්පාදනය කිරීම පිණිස තනි අදියර ද්විත්ව කවර ක්‍රමවේදය යටතේ ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය  අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ කොන්ත්‍රාත්තුව Millennium I.T.E.S.P (pvt) Ltd. සහ Metropolitan Technologies (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 1,310.94ක (බදු රහිත) මුදලකට ප්‍රදානය කිරීමට නිර්දේශ කර තිබේ. එම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය වෙත අභියාචන තුනක් (3) ඉදිරිපත්ව ඇති අතර, එකී අභියාචනා ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් නිෂ්ප්‍රභ කර ඇත. ඒ අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් සැලසුම් කිරීම, සංවර්ධනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම වෙනුවෙන් වූ ප්‍රසම්පාදනය Millennium I.T.E.S.P (pvt) Ltd. සහ Metropolitan Technologies (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඍජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා යූරියා (Prilled) මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් වෙත ප්‍රසම්පාදනය කිරීම
- වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා, ඍජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි වන පරිදි, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2025‑05‑26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු 03ක් ඉදිරිපත් කර තිබේ. එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, යූරියා මෙට්‍රික්ටොන් 15,000+/-5% සැපයීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලකට සිංගප්පූරුවේ M/s Valency International Pte. Ltd වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය ඉදි කිරීමෙන් පසු මතුව ඇති ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා ගැනීම සඳහා අධ්‍යයනයක් සිදු කිරීම
- නිල්වලා ගඟ, මාතර නගරය ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත හා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි ජනතාවට පානීය ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වේ. නිල්වලා ගඟේ පතුල් මට්ටම මුහුදු මට්ටමෙන් පහළට ඛාදනය වීමත් සමඟ වියළි කාලවලදී මුහුදු ජලය පොම්පාගාර වෙත ගලා ඒම හේතුවෙන් පානීය ජල සැපයුමට දැඩි ලෙස බාධා ඇති වේ. එයට විසඳුමක් ලෙස ගේට්ටු 05කින් සමන්විත ලවණ බාධක නිර්මිතයක්   2018‑2022 කාලවකවානුවේදී ඉදි කර තිබේ. එම ලවණ බාධක නිර්මිතය ඉදිකිරීම හේතුවෙන් ගංවතුර අවස්ථාවලදී පමණක් නොව, වියළි කාලවලදී ද ගඟේ ජල ප්‍රවාහයට බාධා ඇති වීමෙන් වගා බිම් ජලයෙන් යට වී ගොවිතැන්වලට බාධා ඇති වන බව අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් මීට පෙර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සහ ලංකා හයිඩ්‍රොලික්ස් ආයතනය විසින් අධ්‍යයනයන් සිදු කර ඇති නමුත්, එකී ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීමට මෙතෙක් හැකි වී නොමැත. මේ පිළිබඳව අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් 2025‑09‑08 දින ජනාධිපති ලේකම්‌‌ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ඉංජිනේරු ක්ෂේත්‍රයේ සුදුසුකම්ලත් වෘත්තිකයින් නියෝජනය කරන ස්වාධීන ආයතනයකින් වාර්තාවක් ලබා ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව, එවැනි ආයතනයක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙතින් මාතර නිල්වලා ලවණ බාධකය ඉදි කිරීමෙන් පසු මතුව ඇති ගැටලුවලට තිරසාර විසඳුමක් සඳහා වූ අධ්‍යයනයක් සිදු කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග  අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එපොයිටින් පෙර පුරවන ලද එන්නත් 4,000 අයියූ සිරින්ජර් 650,000ක් ප්‍රසම්පාදනය කිරීම
- එපොයිටින් එන්නත වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධයකි. පෙර පුරවන ලද එම ඖෂධ එන්නත් 4,000අයියූ සිරින්ජර් 650,000ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව, අදාළ ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s Reliance Life Sciences (Pvt) Ltd. වෙත ඇමරිකානු ඩොලර් 574,600ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

එපොයිටින් පෙර පුරවන ලද එන්නත් 4,000 අයියූ සිරින්ජර් 1,600,000ක් ප්‍රසම්පාදනය කිරීම
- වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන එපොයිටින් පෙර පුරවන ලද එන්නත් 4,000අයියූ සිරින්ජර් 1,600,000ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. මේ සඳහා ලංසු 04ක් ලැබී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පිළිබඳව ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, එම ප්‍රසම්පාදනය ඉන්දියාවේ M/s Reliance Life Sciences (Pvt) Ltd. වෙත ඇමරිකානු ඩොලර් මිලියන 1.414ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොලිස්ටිමෙතේට් සෝඩියම් එන්නත 1,000,000 අයියූ වයල් 218,000ක් ප්‍රසම්පාදනය කිරීම
- කොලිස්ටිමෙතේට් යනු ඇතැම් ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියා මාදිලි හේතුවෙන් ඇති වන බරපතල ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ප්‍රතිජීවක ඖෂධයකි. එකී  ඖෂධයේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, කොලිස්ටිමෙතේට් සෝඩියම් එන්නත 1,000,000 අයියූ වයල්ස් 218,000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06ක් ලැබී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පිළිබඳව ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, එකී ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවෙහි M/s Ceyoka (Pvt) Ltd. (Manufacturer: Ciron Drugs & Pharmaceuticals Pvt Ltd., India) වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 32.48ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සොෆ්ට් ක්ලෝත් ලයිනර් ටේප් 10cm x 10mන් රෝල් 500,000 සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- වෙලීම්, නළ හා වෛද්‍ය උපකරණ ආරක්ෂා කිරීම සඳහා භාවිතා කරන සොෆ්ට් ක්ලෝත් ලයිනර් ටේප් 10cm x 10mන් රෝල් 500,000ක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු පහක් ලැබී ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වූ ශ්‍රී ලංකාවේ George Steuart Health (Pvt) Ltd., (Manufacturer: Precision Coatings Pvt. Ltd., India) වෙත මුළු පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 270.56 (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉන්ෆ්ලික්සිමැබ් එන්නත් කුඩු මිලිග්‍රෑම් 100න් වයල් 24,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- ඉන්ෆ්ලික්සිමැබ් එන්නත ‘ක්‍රෝන්ස්ගේ’ රෝගය සහ ‘අල්සරේටිව් කොලයිටිස්’ යන රෝගවල රෝග ලක්ෂණ අඩු කිරීමට මෙන්ම ඇතැම් ආතරයිටීස් රෝග සඳහා ද ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලැබේ. එම එන්නත් කුඩු වයල් 24,000ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 02ක් ලැබී ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වූ කොරියානු ජනරජයේ Celltrion Inc (Manufacturer: CELLTRION Inc, Republic of Korea) වෙත මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 03ක මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බීපී/යූඑස්පී/අයිපී අනුසාරයෙන් එන්නත් කිරීම සඳහා මානව වර්ධක හෝමෝනය හෝ සොමැට්‍රොපින් අයියූ 448,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- මානව වර්ධක හෝමෝනය හෝ සොමැට්‍රොපින් ඖෂධය ස්වභාවික වර්ධක හෝමෝනය අඩු වීම මත, වර්ධනය අකර්මණ්‍ය වූ දරුවන්ට හා වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන අතර, එම  ඖෂධ අයියූ 448,000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 02ක් ලැබී ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වූ ශ්‍රී ලංකාවේ A Baur  & Co. (Pvt) Ltd. (Manufacturer: Merk Serono SPA, Italy) වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 860.50ක මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම
- ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම නිර්දේශ කර තිබේ. කොලොන්නාව නිමාවේ 7 කලාපයේ පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් සඳහා අතිනවීන පිරවුම් පහසුකම් සඳහා වන සම්පූර්ණ සැලැස්ම සකස් කිරීම සහ එම කලාපයේ පෙට්‍රල් පිරවුම් පහසුකම ඉදිකිරිම අදියර ‑ 1 ක්‍රියාත්මක කිරීම සඳහා වන මුළු පිරිවැය රුපියල් මිලියන 1.455 + බදු ලෙස ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, කොලොන්නාව නිමාවේ 7 කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අදියර ‑ 1 ක්‍රියාත්මක කිරීම සහ ඉංජිනේරු, ප්‍රසම්පාදන, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුවක් වශයෙන් ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම
- 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස පිහිටුවා ඇත. එම කලාපය ගෝලීය වශයෙන් තරගකාරී විශේෂ ආර්ථික කලාපයක් බවට පත් කිරීම, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සමස්තයක් වශයෙන් ව්‍යාපාර කිරීමේ පහසුව පිණිස ශ්‍රේණිගත කිරීම් අතර ශ්‍රී ලංකාවේ ගෝලීය මට්ටම ශක්තිමත් කිරීම යන එම පනතේ අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය නෛතික සංශෝධන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ පනත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2024‑07‑29 දින ලබා දී තිබූ අතර, තවදුරටත් සිදු කළ යුතු නව සංශෝධන කිහිපයක් මේ වන විට හඳුනාගනු ලැබ ඇත. තවද, වරාය නගරයේ ආයෝජකයන් වෙත ඉතා වැදගත් දිරිගැන්වීම් සහ නිදහස් කිරීම් ප්‍රදානය කරන ලද ක්‍රමෝපායික වැදගත්කමක් තිබූ ව්‍යාපාර නියෝග 2025-08-04 දින සිට අහෝසි වී ඇති බැවින්, එම ආයෝජකයන්ගේ ගැටලුවලට ද සෘජුවම විසඳුම් ලබා දීමට යෝජිත නව විධිවිධාන මඟින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, අලුතින් හඳුනාගනු ලැබ ඇති සංශෝධන ද ඇතුළත් කරමින්, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සුරාබදු බලපත්‍ර ගාස්තුවලට අදාළ වන රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මාර්ගෝපදේශ සහ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා වන 2025 අයවැය යෝජනාවක් අනුව, වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල සහ කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් අය කරනු ලබන ගාස්තුව ඇතුළු සුරාබදු ආඥාපනත යටතේ වන සුරාබදු බලපත්‍ර ගාස්තුවලට අදාළ නව රීති සකස් කර ඇත. ඒ අනුව, (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 25 වන වගන්තිය සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ සාදන ලද සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පනවා ඇති රීති අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

ගුවන්විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම පිණිස 2024‑07‑17 දින පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ. එකී සංශෝධනය අනුව, එම පනතේ 22 වන වගන්තියේ (7) වන උපවගන්තියේ විධිවිධාන පරිදි ගුවන්විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි පැනවිය යුතුව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අංක 2397/30 හා 2024‑08‑14 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් '2024 අංක 02 දරන ගුවන්විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි' ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ක්‍රියාත්මක කිරීම
- 2025 අයවැය යෝජනාවක් අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත, 2025 අංක 09 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත සහ 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත 2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2025‑07‑22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත. එකී විධිවිධාන අනුව 2025‑04‑01 වන දින සිට මාසික අවම වේතනය රුපියල් 17,500/- සිට රුපියල් 27,000/- දක්වා වැඩි වන අතර, 2026‑01‑01 දින සිට මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි වේ. එලෙස මාසික අවම වේතනය වැඩි කිරීම සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගත යුතුව ඇත. එමෙන්ම, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ නිරත කරනු ලබන සේවකයන් සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයෙක්ම එකී නියමයන්ට යටත්ව පියවර ගැනීම සඳහා නීතියෙන් බැඳී සිටී. එම විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු කොමසාරිස් ජනරාල් වෙත බලය පැවරී ඇති අතර, ඒ අනුව එම විධිවිධාන පිළිබඳව පුවත්පත් දැන්වීම් මඟින් අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත. මෙම තොරතුරු කම්කරු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කරන ලදුව, එම විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම
- මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලෙස කටයුතු කළ ආර්.එම්. පසන් ශ්‍රී බණ්ඩාර රත්නායක මහතා 2025‑08‑20 දින සේවයෙන් පසු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. ඒ අනුව පුරප්පාඩු වී ඇති මොනරාගල දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුර සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ඒ.ජී. නිශාන්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය ආයතන විසින් ප්‍රදානය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීම
- සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක වන පැලවත්ත හා සෙවනගල කර්මාන්තශාලා මඟින් දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 56,000ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන අතර, උක් වගාවේ සාරවත් අස්වැන්න හේතුවෙන් මෙම වර්ෂයේ දුඹුරු සීනි නිෂ්පාදනය එම සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන දුඹුරු සීනි මෙරට ජනතාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම මඟින් දේශීය දුඹුරු සීනි කර්මාන්තය තිරසරව සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. එමෙන්ම, එම කර්මාන්තශාලාවල සේවයේ නියුතු සේවකයන්, මෙම කර්මාන්තයෙන් යැපෙන දේශීය උක් ගොවීන් මෙන්ම එම නිෂ්පාදන කර්මාන්තයට සෘජු හා වක්‍ර සේවා සපයන්නන් රැක ගැනීම පිණිස දුඹුරු සීනි නිෂ්පාදන සඳහා දේශීය වෙළෙඳපොළ තුළ විකුණුම් අවස්ථා වැඩි කර ගැනීමේ අවශ්‍යතාව ද හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතනයන් සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීමටත්, සීමාසහිත ලංකා සතොස විසින් සෘජුවම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිල දී ගෙන පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත් ව ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධයන් සිදු වන බව ද නිරීක්ෂණය කරනු ලැබ ඇත. ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන් ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිත ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී උවදුර මුලිනුපුටා දැමීම සිදු කළ යුතු බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, එකී ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා 'රටම එකට ජාතික මෙහෙයුම' නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, 'රටම එකට ජාතික මෙහෙයුම' හදිසි හා කඩිනම් ජාතික වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට සහ ඒ සඳහා ජාතික මෙහෙයුම් සභාවක් ස්ථාපිත කිරීමට ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2025 අංක 01 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම් පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ රජය එළඹ ඇති එකඟතාවන්ට අනුකූලව, කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සඳහා බදු දිරිගැන්වීම් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි නව දිරිගැන්වීම් ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග නිකුත් කිරීම සඳහා 2025-07-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, '2025 අංක 01 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම් පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග'  අංක 2454/62 දරන 2025‑09‑20 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ණය උපකරණයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීම
- මේ වන විට රට තුළට ප්‍රමාණවත් විදේශ විනිමය ලැබෙමින් පවතින බැවින් සහ ඒ අනුව දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ ද්‍රවශීලතාව ශක්තිමත් වී ඇති බැවින්, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ඉලක්ක කර ගනිමින් එම බැංකු වෙත විදේශ ව්‍යවහාර මුදල්වලින් ආයෝජන සඳහා අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාව විසින් විදේශ ව්‍යවහාර මුදල්වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2025 අගෝස්තු මාසයේදී ආයෝජකයන්ගේ කැමැත්ත නිර්ණය කිරීම සඳහා පවත්වනු ලැබ ඇති වෙළෙඳපොළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, වසරකට අඩු කාලයක සිට වසර 03ක කාලයක් තෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් දක්වා විවිධ ප්‍රමාණවලින් ආයෝජනය කිරීමට ආයෝජකයින් විසින් උනන්දුවක් දක්වන බව තහවුරු වී ඇත. ඒ අනුව, කෙටිකාලීන ද්‍රවශීලතා උපකරණයක් ලෙස, දැනට පවතින නෛතික රාමුව තුළ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දේශීය ඩොලර් බැදුම්කර නිකුත් කිරීමට අදාළ කටයුතු ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මූල්‍ය බුද්ධි ඒකකය සහ මොරිෂස් ජනරජයෙහි මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුම
- 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත කර ඇත. එම මූල්‍ය බුද්ධි ඒකකය සහ මොරිෂස් ජනරජයේ මූල්‍ය බුද්ධි ඒකකය අතර, මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්‍රිත පූර්ව පාදක අපරාධ, ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම සහ අවි ව්‍යාප්තිය සඳහා අරමුදල් සැපයීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හෝ නඩු පැවරීම සඳහා අදාළ වේ යැයි සාධාරණ හේතු මත අනුමාන කරන තොරතුරු ‌බෙදා ගැනීම සඳහා රාමුවක් සැපයීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහ වතිකානු රාජ්‍යයේ (Holy See/Vatican City State) මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුම
- මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්‍රිත පූර්ව පාදක අපරාධ, ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම සහ අවි ව්‍යාප්තිය සඳහා අරමුදල් සැපයීමේ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අදාළ තොරතුරු ‌හුවමාරු කර ගැනීමේදී සහයෝගිතාව පළ කිරීම පිළිබඳව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සහ වතිකානු රාජ්‍යයේ (Holy See/Vatican City State) මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව, දෙපාර්ශ්වය අතර එකී ගිවිසුමට අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දේශීය වෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් GR 11/පොන්නි සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීම
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000ක් වන අතර, එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය 10%ක්, එනම් මෙට්‍රික්ටොන් 246,000ක් පමණ වේ. මේ වන විට දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, එක් ආනයනකරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව, 2025‑10‑15 දින සිට 2025‑11‑15 දින දක්වා කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන  GR 11/පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.