ඉෂාරා සෙව්වන්දි කොටු කරගත් මෙහෙයුමේ අලුත්ම තොරතුරු

ඉෂාරා සෙව්වන්දි කොටු කරගත් මෙහෙයුමේ අලුත්ම තොරතුරු.

by Staff writer 14-10-2025 | 6:59 PM

COLOMBO (News1st) - ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස හෙට දිවයිනට රැගෙන එන බව පොලීසිය පවසයි.

ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ නේපාලයේදීයි.

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් චන්දිම යන මහත්වරුන් එම පිරිස අත්අඩංගුවට ගත්තේ නේපාල ආරක්ෂක අංශ සමග එක්ව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් ය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙනඩි බැස්ටියන් පිල්ලෙයි නොහොත් ජේ.කේ.බායි නමැත්තා, නේපාලයේ භක්තපූර් ප්‍රදේශයේදී මුලින්ම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය සඳහන් කළේ, ඔහුගෙන් හෙළි කරගත් තොරතුරු මත කළ මෙහෙයුමේදී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

ඇය නේපාලයේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 18 ක් පමණ දුරින් පිහිටි මහල් නිවාසයක රැඳී සිටි බවද පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 04 දෙනා වෙනත් ස්ථානයක සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ගම්පහ සහ නුගේගොඩ පදිංචිකරුවන් ය.

පොලීසිය පැවසුවේ, යාපනයේ පදිංචි යුවළක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි.

පසුගිය පෙබරවාරි 19 වැනිදා සංජීව කුමාර සමරරත්න නොහොත් " ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කෙරුණණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණය තුළදී.

විමර්ශනවලදී අනාවරණය වුණේ, වෙඩික්කරුට ගිනි අවිය දී ඇත්තේ සැකකාර ඉෂාරා සෙව්වන්දි බවයි.

ඇය එදිනම, වෙඩික්කරු සමග පළා ගොස් තිබුණි.

ඝාතනයේ වෙඩික්කරු බව කියන සමිඳු දිල්ෂාන් නමැත්තා අත්අඩංගුවට ගැණුනේ, එදින පස්වරුවේයි.

සැකකාර ඉෂාරා සෙව්වන්දි සොයා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණත් ඇය සොයාගැනීමට හැකි වූයේ නැහැ.

කොළඹ අපරාධ කොට්ඨාසය, විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් එම මෙහෙයුම් සිදු කෙරුණි.

පසුව අනාවරණ වූයේ,ඉෂාරා සෙව්වන්දි, රටින් පලා ගොස් ඇති අතර, ජේ.කේ. බායි නැමැත්තා ඊට සහය දී ඇති බවයි.

මේ අතර, කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනා ඉන්දුනීසියාවේදී අත්අංඩංගුවට ගැනීමේ මෙහෙයුමට දායකත්වය ලබා දුන්නේ, සහකාර පොලිස් අධීකාරීවරුන් වන රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර යන මහත්වරුන් ය.

බටහිර ජකර්තා හි ඊබොන් ජෙරුක් ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළදී කෙහෙල්බද්දර පද්මේ, පානදුර නිලංග, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනුනේ පසුගිය අගෝස්තු 27 වැනිදායි.