වතු කම්කරු දෛනික වැටුප රු. 1750ක් දක්වා වැඩි කරනවා

මෙම වසර තුළ වතු කම්කරු දෛනික වැටුප රු. 1750ක් දක්වා වැඩි කරන බව, ජනපති කියයි.

by Staff writer 12-10-2025 | 5:36 PM

COLOMBO (News 1st) -වතු ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනා දීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වසර 202කට ආසන්න කාලයක් මහ පොළොව සමග පොරබදමින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන මලෛයගම් ජන ප්‍රජාවගේ ආර්ථික මෙන්ම සමාජයීය අයිතිවාසිකම්ද තහවුරු කිරීමේ වගකීම ඉටු  කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදි එක් වෙමිනි.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී තම ඥාතීන් සහ අසල්වැසියන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමින්,  මලෛයගම් ජන ප්‍රජාව තැබූ අපේක්ෂා කිසිවිටෙකත් බිඳ වැටීමට ඉඩ නොතබන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ට හිමි ආර්ථික මෙන්ම සමාජ ජිවිතයද දිනා දීමට රජය කැප වී කටයුතු කරන බව සඳහන් කළේය.

එහිදී එම ජනතාවගේ සෞඛ්‍ය අයිතීන් දිනා දීම, පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අයිතිවාසිකම තහවුරු කිරීම මෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සහ වතුකරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම කෙරෙහිද රජය සුවිශේෂී අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කිරීම උදෙසා හැටන් ප්‍රකාශනයට අනුව යමින් මලෛයගම් ප්‍රජාවගේ නිවසක් සඳහා වන අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ඉන්දු - ලංකා  IV වන අදියරේ නිවාස 10,000ක වැඩසටහනේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා හිමිකම් පත්‍ර ලබා දීම මෙහිදී සංකේතාත්මකව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

කඳුකර ප්‍රදේශවල වතු ආශ්‍රිතව පදිංචිව සිටින මලෛයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙන්ම ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් සහිත නිවාස ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර මෙම එක් නිවසක් සඳහා ඉන්දීය රජය විසින් රුපියල් ලක්ෂ 28ක මුදලක් සහ ශ්‍රී ලංකා රජය විසින් නිවසේ යටිතල පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 04ක මුදලක් වැය කර ඇත.


මෙම නිවාස ව්‍යාපෘතියට අදාළව සම්පාදනය කෙරුණු ග්‍රන්ථ කට්ටලයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙරට ජනතාවට වඩා යහපත් ආර්ථික සහ සමාජයීය ජීවිතයක් ලබා දීම වෙනුවෙන් ඉන්දියානු රජය දක්වන සහාය වෙනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට, එරට ජනතාවට සහ එම කාර්යය ශ්‍රී ලංකාව තුළ මෙහෙයවන ඉන්දියානු මහ කොමසාරිස්වරයාට ස්තුතිය පළ කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කටයුතු කළේය.