.webp)
COLOMBO (News 1st) -
රජයේ අමාත්‍ය ධූර දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට හිතවතුන් 15ක් බඳවා ගෙන ඔවුන්ට ගෙවූ වැටුප් හා අතිකාල දීමනා වශයෙන් රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් ලබාගෙන රජයට පාඩු සිදු කර දූෂණය නමැති වරද සිදු කළේ යැයි අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.
කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල , දියණිය අමාලි නයනිකා රඹුක්වැල්ල හා නිවසේ සේවිකාව වූ නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව මෙසේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත යි.
තුන්වන සැකකරු වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක රජයේ සාක්ෂිකරුවක වශයෙන් නම් කර තිබේ
ඒ අනුව නිශාන්ත බණ්ඩාර බස්නායක මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
අදාළ පැමිණිල්ල ජනවාරි මස 16 වනදා කැඳවන ලෙසත් එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේ ය.