කජ්ජා පිළිබඳ අනාවරණයක්

තාජුඩීන් ඝාතන සමයේ කජ්ජා රජයේ ප්‍රබල අමාත්‍යාංශයක සේවය කර ඇති බවට අනාවරණයක්.

by Staff writer 07-10-2025 | 12:47 PM

COLOMBO (News 1st) - රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සමයේ මීගස්ආරේ කජ්ජා නැමැත්තා රජයේ ප්‍රබල අමාත්‍යාංශයක සේවය කර ඇතැයි, මේ වන විට වාර්තා වී තිබේ.

ඒ , විමර්ශන කණ්ඩායම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පුළුල් විමර්ශනවලදීය.

මීගස්ආරේ කජ්ජා නැමැත්තා ඝාතන සිද්ධිය සිදු වූ දිනයේ රැඳී සිටි ප්‍රදේශ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඝාතන සිද්ධිය වාර්තා වූ ප්‍රදේශය ආශ්‍රීත දුරකථන කුළුණු වාර්තා ද මේවන විට කැදවා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වූ දිනයේ ඔහු ගමන් ගත් රථයට පිටුපස රථයේ අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ද සිටි බවට තහවුරු වී ඇතැයි පොලීසිය පසුගියදා ප්‍රකාශ කලේ ය.

වසීම් තාජුඩීන් මහතාගේ සිරුර 2012 වසරේ මැයි 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය ආසන්නයේ මෝටර් රථයක් තුළ පිලිස්සී තිබියදී සොයා ගැනුණි.

මරණය සිදුවූ අවස්ථාවේ එය අනතුරක් ලෙස හුවා දැක්වීමට පියවර ගැනුන නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල විමර්ශනවලදී එය ඝාතනයක් යැයි නිගමනය කල හැකි සාධක අනාවරණය වුණේය.

නමුත් පසුගිය කාලවනවානුව තුළ මෙම ඝාතනයට අදාළව වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම සාර්ථකවූ බවක් පෙනෙන්නට තිබුනේ නැහැ.

මේ අතරතුර පසුගිය පෙබරවාරි 19 වෙනිදා සිදුවූ අරුණ ප්‍රියන්ත විදානගමගේ නොහොත් මීගස්ආරේ කජ්ජාගේ ඝාතනයට අදාළ විමර්ශන ක්‍රියාවළියේදී තජුඩීන් ඝාතනයට අදාළව ද කරුණු අනාවරණය වෙමින් තිබේ.

මීගස්ආරේ කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස මේ වනවිට නිර්මල ප්‍රසංග හෙවත් බැකෝ සමන් නමැත්තා හදුනාගෙන ඇති අතර කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන් රදවා ප්‍රශ්ණ කිරීම් මේ වන විට සිදු වේ.

එම විමර්ශන ක්‍රියාවළිය අතරතුර මීගස්ආරේ කජ්ජාගේ බිරිද පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් තජුඩීන් ඝාතනය පිළිබඳව අනාවරණයක් සිදුකර තිබුණි.

තජුඩීන් ඝාතනයට ලක්වූ දිනයේ ඔහු පසුපස හඹා ආ තවත් මෝටර් රථයක් සීසීටීවී දර්ශන විමර්ශනයේදී අනාවරණයවී තිබූ අතර එක් ස්ථානයකදී එම මෝටර් රථයට මීගස්ආරේ කජ්ජා ගොඩවූ බව ඇගේ ප්‍රකාශයෙන් හෙලි වුණි.

මේ අතර වසීම් තාජුඩීන් ඝාතනය පමණක් නොව ආණ්ඩුව පොරොන්දු වූ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය  මෙන්ම පාස්කු ප්‍රහාරය ආදිය පිළිබඳව පරීක්ෂණ නිසි පරිදි සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අවධාරණය කරයි.

අනුරාධපුරයේ පැවති වැඩසටහනකදි ඔහු මේ බව සඳහන් කළේ ය.