ලංවිම ලෙඩවෙයි.විදුලි බිඳවැටීම් යථා බාධා

ලංවිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් විදුලිය බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට බාධා - විදුලි බල මණ්ඩලය

by Staff writer 06-10-2025 | 8:42 AM

COLOMBO (News 1st) - විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති  ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් විදුලිය බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමට බාධා මතුව තිබේ.

විදුලි බල මණ්ඩලය පැවසුවේ වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් තිස් දහසක් පමණ වාර්තා වී තිබූ බවය.

තද සුළං තත්වයත් සමග රැහැන් පද්ධතියට ගස් කඩා වැටීම හේතුවෙන් එලෙස විදුලිය බිඳ වැටීම් වාර්තාවී තිබුණි.

විදුලි බල මණ්ඩල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පැවසුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් එම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම ප්‍රමාද වනු ඇති බවයි.

ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 32 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

පසුගිය මස 4 වැනිදා  සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලට සෘජුව සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති 25 ක් අකුරට වැඩකිරිමේ සහ අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹුනේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉල්ලීම් 24 ක් ඉදිරිපත් කරමින්.

පසුව ඔවුන් ප්‍රසම්පාදන කමිටුවලින්ද ඉවත්වුණි.

මේ අතර ජනතාව සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන්, විදුලි බල සේවකයින්ගේ නිවාඩු ද පසුගියදා අවලංගු කෙරුණි.

විදුලිබල සැපයීමට අදාළ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මේ වනවිටත් බලාත්මකයි.