.webp)
COLOMBO (News 1st) - වත්තලදී අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සැකකරුවෙකුගෙන් වෙඩි තැබීම් තුනක් ඇතුළු අපරාධ රැසක තොරතුරු අනාවරණවී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු පසුගිය ජුලි මස 3 වැනිදා කඳාන පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු බවට අනාවරණවී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
එසේම සැකකරු පසුගිය අගෝස්තු මස 7 වැනිදා කඳාන පොලිස් වසමේදී නිවසකට වෙඩි තැබීම සහ පසුගිය 6 වැනිදා මීගමුව පොලිස් වසමේදී නිවසකට වෙඩි තැබීම යන සිදුවීම්වල වෙඩික්කරු බවටද අනාවරණවී ඇතැයි පොලීසිය සඳහන් කරන ලදි.
විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන් දෙනෙකුගේ මෙහෙයවීම මත සැකකරු විසින් එහ අපරාධ සිදුකර ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණවී ඇති බව පොලිසිය පැවසුවේ ය.
අපරාධ සඳහා යොදාගත් යතුරු පැදියක්ද විමර්ශන නිළධාරින්ගේ භාරයට ගෙන තිබේ.
පසුගිය 22 වැනිදා වත්තල, ඇලකන්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක් සමග සැකකරු අත් අඩංගුවට ගනු ලැබුවේය.
එලෙස අත් අඩංගුවට ගනු ලැබුවේ උතුරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු පසුගිය 23 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.