.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරී මහතා දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අවසර දී තිබේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, අද පස්වරුවේ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දැනුම් දුන්නේ ය.
කරුණු සලකා බැලූ වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය පැමිණිල්ලට නියෝග කර සිටියේ, රැඳවුම් කාලය අවසන් වීමෙන් පසු සැකකරු දෙසැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සිද්ධියේ පළමු සැකකරු පියල් මනම්පේරී මහතා ද, ඔක්තෝබර් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ය.
සැකකරුවන්ට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ලංකා විදුලි බල මණ්ඩලයේ රියැදුරෙකු වන චරිත් මධුෂංඛ නමැත්තා ද, ඔක්තෝබර් 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි උප පොලිස් පරීක්ෂක ජූඩ් වන්නිආරච්චි මහතා විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද, බැකෝ සමන් සමග, නඩුවේ දෙවැනි සැකකරු වන සම්පත් මනම්පේරි සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට කරුණු අණාවරණය වී ඇති බවයි.
ඒ අනුව වැඩිදුර විමර්ශන සඳහා සම්පත් මනම්පේරි දින 90ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට වැඩබලන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයගේ අවසර ලැබී ඇතැයි විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළේ ය.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු රැඳවුම් භාරයට ගැනීමට කටයුතු කර ඇති ආකාරය නීතියට පටහැනි බවයි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරු දෙසැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේ ය.