මනූෂ නානායක්කාරගෙන් පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා මනූෂ නානායක්කාරගෙන් පෙත්සමක්

by Staff writer 26-09-2025 | 6:38 PM

COLOMBO (News 1st) -  අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු කම්කරු අමාත්‍ය  මනුෂ නානායක්කාර මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේ ය.

එහිදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමේදී සිදුවී ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් සිදු කරන බව පැවසුවේ ය.  

තම සේවාදායකයා ඉකුත් 24 වැනිදා ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළට පැමිණි විගස එහි පැමිණි අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉහත විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ලිපියක් බාර දී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ ය.

මීට අදාළව තම සේවාදායකයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත ඔහු මුදා හැරීමේ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ අපේක්ෂිත ඇප පෙත්සමේ වග උත්තරකරු ලෙස නම් කර තිබෙන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 02 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේ ය.