ප්‍රදේශ රැසකට මහ වැසි....

ප්‍රදේශ රැසකට මහ වැසි.... මුහුද රළුවීම පිළිබඳවත් අනතුරු ඇඟවීම්..

by Staff writer 25-09-2025 | 5:05 PM

COLOMBO(News1st) - ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර 55 ත් 65 ත් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි.

ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

මේ අතර, ප්‍රදේශ රැසකට අද පස්වරුවේ මිලිමීටර 100 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් මෙන්ම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක, ඒ අතරට ඇතුළත් ය.

අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.