ඉරණම විසඳන තීරණාත්මක තරගය අදයි...

ශ්‍රී ලංකාවෙත්, පාකිස්ථානයෙත් ඉරණම විසඳන තීරණාත්මක තරගය අදයි...

by Staff writer 23-09-2025 | 10:50 AM

COLOMBO (News 1st) -  ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක දෙවැනි තරගය අද (23) පැවැත්වේ.

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක දෙවැනි තරගය අද පැවැත්වේ.

ඒ, පකිස්ථානය සමගයි.

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලයට හිමිව තිබේ.

තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේදි කණ්ඩායම් දෙකම මේ දක්වා තරගය බැගින් ක්‍රීඩා කර තිබෙනවා.

සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරගය කඩුලු 4කින් ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

පකිස්ථානය සමග පැවති පළමු තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 6කින් ජය ගත්තේ ය.

ඒ අනුව අවසන් තරගයේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් දෙපිලටම අද තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත්.

තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානයේ රැදී සිටි.

පකිස්ථාන කණ්ඩායම පසුවන්නේ සිව්වැනි ස්ථානයේය.

දෙරට අතර මේ දක්වා පන්දුවාර 20යි 20 තරග 23ක් පවත්වා ඇති අතර ඉන් තරග 13ක් ජය ගත්තේ පකිස්ථානයයි.

ශ්‍රී ලංකාව තරග 10ක් ජය ගෙන තිබේ.

පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක සහිබ්සාඩා ෆර්හාන් පවසන්නේ ශ්‍රී ලංකාව සමග අද පැවැත්වෙන තරගයට තමන් හොඳ සූදානමකින් සිටින බවය.

එමෙන්ම තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග කිරීමේ කැමැත්තෙන් පසු වන බවද ඔහු පැවසුවේ ය.