සජින් ද වාස් ගුණවර්ධනට අධිකරණය නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අධිකරණය නියෝගයක්...

by Staff writer 22-09-2025 | 9:37 PM

COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 369ක අධික මුදලක පුද්ගල ආදායම් බදු නොගෙවා සිටීමට හේතු ඇත්නම් දෙසැම්බර් 16 දින අධිකරණය හමුවේ ලිඛිතව කරුණු ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අධිකරණය නියෝග කළේ ය.

ඒ ඔහු අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
​රුපියල් ලක්ෂ 369කට අධික (- 36975959.00)  පුද්ගල ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් සඡින්ද වාස් මහතාට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් නඩුව පවරා තිබුණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේ ය.

වගඋත්තරකාර ගුණවර්ධන මහතා වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් කියා සිටියේ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකොට ඇති බවය.

එම පෙත්සම 2026 මාර්තු මස 26 වැනි දින කැඳවීමට නියමිත බවද ඔහු පැවසුවේ ය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් කිසිදු නියෝගයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිකුත් කොට නොමැති බවත්,මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට කිසිඳු බාධාවක් නොමැති බවත් සඳහන් කරන ලදි.