GovPay මගින් සවිගැන්වුණු පළමු පළාත බවට දකුණපත්වෙයි

GovPay හරහා සියලු දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් වලින් සවිගැන්වුණු පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

by Staff writer 16-09-2025 | 12:39 PM

COLOMBO (News 1st) - GovPay - රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම ඊයේ(15) ආරම්භ කෙරිණි.

ඒ,  ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙත් මාතර දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ දීය.

ඒ අනුව, GovPay හරහා, පළාතක් යටතේ එන සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිගැන්වුනු ප්‍රථම පළාත ලෙස දකුණු පළාත ඉතිහාසගත විය.

ඒ අනුව, දකුණු පළාත පුරා විහිදී දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල 03කට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 කට, GovPay හා සම්බන්ධ තම බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ / මොබයිල් බැංකුකරණ පෝටලයන් හෝ GovPay හා සම්බන්ධ ඕනෑම FinTech යෙදුමක් හරහා ක්ෂණිකව, පහසුවෙන් සහ සුරක්ෂිතව ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කිරීමේ පහසුව දකුණු පළාතේ ජනතාවට සැලසී ඇත.

ඒ අනුව සමගම GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව මේ වන විට 131 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වසරේ පෙබරවාරි මස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කල GovPay හරහා මේ වන විට රාජ්‍ය සේවා 1,767 ක් සඳහා රුපියල් මිලියන 110 කට අධික වටිනාකමකින් යුත් ගෙවීම් සිදුකර ඇති අතර බැංකු 14ක් සහ FinTech යෙදුම් 6ක් GovPay හා සම්බන්ධ වී තිබේ.

දකුණු පළාත මෙලෙස GovPay හා සම්බන්ධ වීම මෙතෙක් මෙම ව්‍යාපෘතිය ලඟා වූ තවත් සුවිෂේශී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර එය ආදර්ශයට ගනිමින් දිවයින පුරා ඇති සෙසු පළාත් සහ රාජ්‍ය පරිපාලන ඒකකද GovPay හා සම්බන්ධ වීම කඩිනමින් සිදු කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, පළාතක් ලෙස, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල GovPay හා සම්බන්ධ වන ප්‍රථම පාළත ලෙස දකුණු පළාත, පූර්ණ වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ බලගැන්වුනු රාජ්‍ය සේවයක් කරා රට රැගෙන යාමේ මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සුවිෂේශී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.