හම්බන්තොට මයුරපුරත් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන ස්ථාන

සංචාරක නිවස්නයක් තුළ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් CIDය වටලයි

by Staff writer 15-09-2025 | 10:30 PM

COLOMBO (News 1st) - හම්බන්තොට සංචාරක නිවස්නයක් තුළ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් කළුතර අපරාධ විමර්ශන කොට්ටාසය මගින් වටලා තිබේ.

පොලීසිය මෙම වැටලීම සිදුකර ඇත්තේ රැදවුම් නියෝග මත සිටින පානදුර නිලංග නැමති සංවිධානාත්මක අපරාධකරුගේ සහායකයෙකු බව කියන ඇඹිලිපිටියේ සුරංග නැමත්තාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් පසුවය.

හම්බන්තොට, මයුරපුර ප්‍රදේශයේ පිහිටි මෙම නිවස කලක සිට සංචාරක නිවස්නයක් ලෙස භාවිතා කර තිබේ.

පසුගිය සතියේ කළුතර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් ඇඹිලිපිටියේ සුරංග නැමැත්තාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී ඔහුගේ සමීපතමයෙකු පිළිබඳව අනාවරණය කර ඇති අතර පසුව එම පුද්ගලයාද පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරු 20 හැවිරිදි වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරු දින 07ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාගත් පොලිසිය එහිදී හෙලි වූ තොරතුරු මත හම්බන්තොට සංචාරක නිවාස නිවස්නයක් ලෙස භාවිතා කර තිබේ.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැක කෙරෙන රසායන ද්‍රව්‍ය ලීටර් 4 කෑන් 15 ක් හා පෙරහන් කොළ සොයාගත් බව පොලිසිය පැවසුවේ ය.

නිවසේ කාමරයක් විද්‍යාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර එහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා ඉරාන ජාතිකයික් තිදෙනෙකුද රැදී සිට ඇතැයි අනාවරණ කරගෙන තිබේ.

විමර්ශන නිලධාරීන් සොයාගත් කරුණුවලින් හෙලිවී ඇත්තේ මෙම ඉරාන ජාතිකයින් තිදෙනා පසුගිය මාර්තු මස  20 වෙනිදා මෙරටට පැමිණ අප්‍රේල් මස 10 වෙනිදා පිටත්ව ඇති බවයි.

පසුව ඔවුන්ගෙන් එක් අයෙකු අගොස්තු මස 20 වෙනිදා නැවත මෙරටට පැමිණ මේ මස 03 වෙනිදා ආපසු පිටත්ව ගොස් තිබේ.

මෙම නිෂ්පාදනාගාරය සදහා යොදාගත් නිවස කුලී පදනම මත ලබාගත් එකක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

එම නිවස පිහිටි පරිශ්‍රයේ තිබී මෝටර් රථයක්ද පොලිස් භාරයට ගත් අතර එය ඩුබායි හී සැගවි සිටින සංඛ නැමති තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බව පොලිසීය අනාවරණ කර ගෙන ඇත.

2020 වසරේ ලියාපදිංචි කරන ලද මෙම මෝටර් රථයේ වත්මන් හිමිකරුගේ නම ලෙස දැක්වෙන්නේ සංඛ සම්පත් පීරිස් ලෙසය.

සංඛ නමැත්තා සළිදු මල්ශිත හෙවත් කුඩු සලිදු නැමැත්තාගේ ගෝලයෙකු වන අතර පානදුර නිලංග කලකට පෙර සලිදුගෙන් මෙම මෝටර් රථය ලබාගෙන ඇතැයි පොලීසිය සැක කරනවා.

පොලීසිය ප්‍රකශකලේ මෙම මෝටර් රථය 2021 වසරේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 52 ක් සමග පොලීසිය භාරයට ගෙන තිබූ බවය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෙම මෝටර් රථය පොලීසිය භාරයට ගෙන තිබුණේ උප පොලිස් පරීක්ෂකවරයෙකුද සමගය.

එම අවස්ථාවේ ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් තොගය සළිදු මල්ශිත හෙවත් කුඩු සළිදු නමැත්තාය අයත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය..


මිද්දෙණියෙන් සොයාගත් ද්‍රව්‍ය පිළිබඳ විමර්ශනයේ අලුත් තත්ත්වය කුමක්ද?

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් රැදවුම් නියෝග මත සිටින කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් සහ පානදුර නිංලග නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධකණ්ඩායම් සාමාජිකයින්ගෙන් කළ ප්‍රශ්ණකිරීමවලින් අනතුරුව පොලීසිය මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කළා.

එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැක ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර ඒවායේ සාම්පල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පරීක්ෂා කර තිබුනා.

එම මණ්ඩලය මේ වනවිට තහවුරු කර ඇති ආකාරයට ඔවුන් ලබාගත් සාම්පල 20 ක් අතරින් 17 කම මෙතැම්පිටමින් හෙවත් අයිස් අන්තර්ගතවී තිබෙනවා.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා මෙම වාර්තාව පිළිබඳව කරුණු තහවුරු කරමින් අද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියක් යවා තිබුනා.

උපුටා ගැනීම
"ලබාගත් සාම්පල 20 න් 17 ක 2022 අංක 41 දරණ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත සහ 2008 අංක 01 දරණ මාදක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත යටතේ ලැයිස්තු ගත කර ඇති මෙතැම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය අන්තරගතව ඇති බවට පරීක්ෂණවලින් තහවුරුවී ඇත."
උපුටා ගැනීම අවසන්.

මිද්දෙණියේ කන්ටේනර් රේගුවේදී පරීක්ෂා කළාද?

මිද්දෙණියේදී සොයාගත් කන්ටේනර් දෙක පසුගිය ජනවාරි මාසයේදී රේගු හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පරීක්ෂාවකින් අනතුරුව මුදා හැර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා අද (15) යළිත් ප්‍රකාශ කළේ ය.

ඔහු කියා සිටියේ එම අවස්ථාවේ ලැබුණ තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව එම පරීක්ෂාව සිදුකළ බවයි

එම කන්ටේනර් දෙකෙහි ටැල්ක් ගල් සහ ටැල්ක් කුඩු අඩංගු බව රේගු වාර්තාවල සදහන් වේ.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ මෙම කන්ටේනර් තම පරිශ්‍රයෙන් පිටතට ගිය පසු එහි අන්තර්ගතයන් පිළිබඳ තම ආයතනයට වගකිව නොහැකි බවය.