ශ්‍රී ලංකාව ස්ථාන 15 කින් ඉදිරියට

2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 15 කින් ඉදිරියට..

by Staff writer 12-09-2025 | 6:11 PM

COLOMBO (News1st) - ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහයෝගීතා ජාත්‍යන්තර ආයතනයේ 2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 58 වැනි ස්ථානයයි.

රටවල් 174ක තත්ත්වය මෙහිදී සලකා බලා ඇති අතර, ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි.

මෙම ශ්‍රේණිගත කිරීමට පදනම් කර ගන්නේ නියෝජනය, අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය හා  සහභාගීත්වය යන කරුණු 4 යි.

ශ්‍රී ලංකාවට 58 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර,  57 වැනි ස්ථානයේ ඉක්වදෝරයත්, 59 වැනි ස්ථානයේ බල්ගේරියාවත් පසුවෙයි.

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන්නේ ජර්මනියයි.

ඩෙන්මාර්කය දෙවැනි ස්ථානයේත්,, නෝර්වේ තුන් වැනි ස්ථානයේත් පසුවෙයි.

ශ්‍රී ලංකාව ස්ථාන 15කින් ඉදිරියට පැමිණීමට 2024 පැවැත්වූ සාමකාමී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රධාන හේතුවක් බව සඳහන් ය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහයෝගීතා ජාත්‍යන්තර ආයතනය සිය වාර්තාවෙන් මඡන්ද විමසීම් දෙක සාමකාමීව පැවැත්වීම ප්‍රශංසාවට ලක්කර ඇති අතර නීතියේ ආධිපත්‍යය සනිටුහන් වන අවස්ථාද පැසසුමට ලක් කර තිබේ.

මාධ්‍ය නිදහස කාණ්ඩය යටතේ ආසියා සහ පැසිෆික් කලාපයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව ඇතුළත් ය.

කලාපයේ අනෙක් රටවල් 43 ම එම ශ්‍රේණිගතකිරීම්වල පෙන්නුම් කරන්නේ සෘණ අගයකි.

ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රේණිගත කිරීම මධ්‍යස්ථ වන අතර එයින් ඉදිරියට යාම සඳහා දූෂණය පිටුදැකීම, ආයතන ප්‍රතිසංස්කරණ සහ ස්ථාවරභාවය ඇති කිරීම වෙනුවෙන් ආණ්ඩුව දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කරනවාද යන්න බලපානු ඇති.

මේ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රේණිගත කිරීම්වලින් රටවල් අඩකට වඩා අවම වශයෙන් ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකවලින් එකක හෝ පහත වැටීමක් පෙන්නුම් කරන බවයි