ඇල්ල බස් අනතුරට හේතුව?

ඇල්ල බස් අනතුරට හේතුව තිරිංග පද්ධතියේ දෝෂයක්: තාවකාලික වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යාංශයට...

by Staff writer 11-09-2025 | 8:47 AM

COLOMBO (News1st) - 15 දෙනෙකුට මරු කැඳවු ඇල්ල බස් අනතුර සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණයේ අවසන් වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ලබා දෙන බව මෝටර් රථ ප්‍රවහාන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,එහි තාවකාලික වාර්තාවක් අද(11) ප්‍රවාහන අමාත්‍යංශයට ලබා දෙන බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කල පරික්ෂණවලින් ද එම බස් රථයේ යාන්ත්‍රික දෝශයක් පැවති බව අනාවරණයවී තිබේ.

අනතුරට පත් බස් රථය ඉහළ ප්‍රදේශයක සිට වේගයෙන් ධාවනය කර ඇති බව පරික්ෂණ වලින් තහවුරුවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

බස් රථයේ අධික වේගය හේතුවෙන් තිරිංග පද්ධතිය උණුසුම් වී එය ක්‍රියාත්මක වී නොමැති බව පරික්ෂණ වාර්තාව වැඩිදුරටත් හෙළි කර තිබේ.

මේ අතර බස් රථයේ හිමිකරු ඊයේ(10) අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණි.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ, බස් රථය නිසි ලෙස නඩත්තු නොකිරීමේ චෝදනාව මතයි.

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ඔවුන්ගේ පවු‍ලේ සාමාජිකයින් ද සමඟ නුවරඑළිය ප්‍රදේශයේ වි‍නෝද චාරිකාවකට ගොස් ආපසු එමින් සිටියදී ඇල්ල වැල්ලවාය මාර්ගයේදී මෙම අනතුර සිදුවුණේ ඉකුත් 04 වැනිදා රාත්‍රියේදී

මේ අතර ඇල්ල ප්‍රදේශයේ සිදු විය හැකි  අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් එළැඹෙන 16 වනදා පැවැත්වෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්  ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේ ය.