නව රජයක් පත්වන තුරු නේපාලයේ පාලනය එරට හමුදාව අතට..

නව රජයක් පත්වන තුරු නේපාලයේ සාමකාමීව පවත්වාගෙන යාමේ වගකීම එරට හමුදාව භාර ගනී..

by Staff writer 10-09-2025 | 5:41 PM

COLOMBO (news 1st) - නව රජයක් පත්වන තුරු නේපාලයේ සාමකාමී තත්ත්වයක් පවත්වා ගෙන යාමේ වගකීම එරට හමුදාව භාරගෙන තිබේ.

ඒ නේපාලය පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන පසුබිමකයි.

එරට ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ බලය ද, එරට හමුදාව යටතට ගෙන ඇත.

කත්මණ්ඩු අගනුවර සහ එහි පිහිටි ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පාලනයද සියතට ගත් බව එරට හමුදාව සඳහන් කරයි.

හමුදාව එම පියවර ගෙන තිබුණේ නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වීම හමුවේ එරට අගමැති සහ ජනාධිපති ඉල්ලා අස්වීමත් සමගයි.

නේපාල රජයේ ප්‍රධාන ලේකම් කාර්යාලය වන සිංදර්බාර්හි පාලනයද හමුදාව සිය භාරයට ගෙන තිබේ.

මේ අතර නේපාලයේ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට කාන්තිපුර් නම් රූපවාහිනී මාධ්‍ය ආයතනයකට මෙන්ම නේපාලයේ භාරත්පූර් සුපිරි වෙළෙඳසැලකට විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවයි.

විරෝධතා හමුවේ මියගිය පිරිස 24ක්.

තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 300කට අධිකයි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ ඉන්දියාව, රුසියාව සහ ඊශ්‍රායලය නේපාලයේ සිටින සිය පුරවැසියන්ට උපදේශන නිකුත් කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර නේපාලයේ සිටි ඉන්දීය පුරවැසියන් කිහිප දෙනෙකු නේපාල- ඉන්දීය දේශසීමාව හරහා ඉන්දියාවට ගෙන්වා ගත් බවද, එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉන්දියාව සහ නේපාලය  අතර ගුවන් ගමන්ද ඇණහිට තිබීම හේතුවෙනි.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ් සහ එක්ස් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 26ක් අවහිර කිරීමට නේපාල රජය ගත් තීරණයට එරෙහිව ආරම්භ වූ එම විරෝධතා පසුව රටේ පාලකයින්ට එරෙහි විරෝධතා දක්වා තීව්‍ර විය.