පළමු T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට...

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට...

by Staff writer 04-09-2025 | 12:42 AM

COLOMBO (News 1st) - සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් අද (03) ජයගත්තේ ය.

තරගය පැවැත්වුණේ හරාරේහි දී.

කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ටඩිවනාශේ මරුමනි සමගින් බ්‍රයන් බෙනට්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 22ක්.

ශෝන් විලියම්ස් ලකුණු 14කට දැවී ගියේ ය.

නායක සිකන්දර් රාසා ලකුණු 28යි.

ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් පන්දු 57කින් වේගවත් ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය.

දුෂ්මන්ත චමීර කඩුලු 3යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු 96ක සාර්ථක සබඳතාවක් ගොඩනැගුවේය.

පැතුම් ලකුණු 55ක් රැස් කළේ පන්දු 32කින්.

4 පහර 4ක් සහ 6 පහර 2ක් එම ඉනිමට ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස්  ලකුණු 38යි.

ශ්‍රී ලංකා මුල් පෙල කඩුලු 6 ලකුණු 142කදී බිඳ වැටීමෙන් අනතුරුව පිටියේ ස්ථාවර වූ කමිඳු මෙන්ඩිස්  සහ දුශාන් හේමන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

කමිඳු පන්දු 16කින් නොදැවී ලකුණු 41යි.

6 පහර 4ක් සහ 4 පහරක් එම ඉනිමට ඇතුළත්.

දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 14යි.

ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසු කළේ ය.