යුද සමයේ වළදැමු බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කරයි

යුද සමයේ වළ දැමු බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කෙරේ....

by Staff writer 28-08-2025 | 1:54 PM

COLOMBO (News 1st) - LTTE ත්‍රස්ත සංවිධානය හා මෙරට ආරක්ෂක අංශ අතර ගැටුම් පැවති සමයේ විවිධ ප්‍රදේශවල වළදමා තිබූ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කර ඇතැයි නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසයි.

දශක 2කට අධික කාලයක සිට එම බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු දේශීය හා අන්තර්ජාතික සමාගම්වල ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක බව එහි අතිරේක ලේකම් එම්. එම් නයිමුදීන් මහතා සඳහන් කළේ ය.

නමුත් 2018  ඔටාවා ජාත්‍යන්තර ආරක්ෂක සම්මුතියට අනුව කටයුතු කිරීමේ අරමුණින්, වසර 10ක් ඇතුළත, වළදමා තිබූ බිම් බෝම්බ ඉවත් කිරීමේ සම්මුතියට එවක රජය අත්සන් කළේ ය.

ඔටාවා සම්මුතිය රටවල් 164ක එකතුවකින් සැදුම් ලද්දක් වන අතර මේ වන විට උතුර, නැගෙනහිර හා  උතුරු මැද පළාත් වල වර්ග කිලෝමීටර් 1300කට අධික භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කර ඇත.

බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව ඇති භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 22.7කි.

බිම් බෝම්බ ඉවත් කරන ලද භූමි ප්‍රදේශවල මේ වනවිට පදිංචි කර ඇති පුද්ගලයින් ගණන 980,900 ක්ය.

මේ අතර ඉදිරි වර්ෂ කිහිපය සඳහා බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉදිරි සැලසුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඊයේ බාර දී තිබේ.