ජවිප ප‍්‍රධාන ලේකම් ද. කොරියා තානාපතිනිය හමුවෙයි

ජවිප ප‍්‍රධාන ලේකම් හා දකුණු කොරියානු තානාපතිනිය අතර හමුවක්

by Staff writer 28-08-2025 | 4:57 PM

COLOMBO (News 1st) -  දකුණු කොරියානු ජනරජයේ තානාපතිනි Miyon LEE මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් අද (28) පෙරවරුවේ පැලවත්ත ජවිප ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ප‍්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙන යන වැඩපිළිවෙලට  කොරියානු ජනරජයේ තානාපතිනිය සිය ප‍්‍රශංසාව පළ කළාය. විශේෂයෙන්ම දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා 1977 සිට මේ දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යන බවත් එම කටයුතු ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව පවත්වාගැනීම සඳහා කටයුතු කරන බවත් පැවසුවාය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දකුණු කොරියාවේ අත්දැකීම් සහ තාක්ෂණික සහාය උපරිමයෙන් ලබා දීමටත් මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ආයෝජනය කිරීමේ අවස්ථාවන් සඳහා කොරියානු ව්‍යවසායකයින් දිරිගැන්වීමටත් කටයුතු කරන බව තානාපතිනිය ප්‍රකාශ කළාය. දූෂණයෙන් තොරවීම ජාත්‍යන්තරයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ඔසවා තැබීමට  අවස්ථාවක් උදාකර දී ඇති බව පැවසූ දකුණු කොරියානු තානාපතිනිය,  විදේශ ආයෝජන කැඳවා ගැනීමට මෙන්ම විදේශීය ව්‍යාපාරිකයන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීමට මෙම පරිසරය ඉතාමත් යෝග්‍ය බව පෙන්වා දුන්නාය.

ජාතික ජන බලවේගයේ පාලනය යටතේ මෙරට වංචාව දූෂණය නැවැත්වීම වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් මෙතෙක් කල් පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය මාලිමා ආණ්ඩුව යටතේ අවසන් කර ඇති බවට සහතිකයක් ලබා දිය හැකි බවත් ටිල්වින් සිල්වා සහෝදරයා අවධාරණය කළේය.