රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිශ්චිතයි

පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ අද(26) අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිශ්චිතයි - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 26-08-2025 | 7:21 AM

COLOMBO (News 1st) - පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරිම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිහ මහතා පවසයි.

ඔහු පැවසුවේ, හිටපු ජනාධිපතිවරයාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ස්ථිර වශයෙන්ම අද(26) පෙරවරුවේ ප්‍රකාශ කළ හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කළේ ය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ සාමාජිකයින්ට සහ පවුලේ සාමාජිකයින් අනුමත කරන පුද්ගලයින් හැර වෙනත් කිසිවෙකුට ඔහුව බැලීමට අවස්ථාවක් නොලැබේ.

එසේ නොවන පුද්ගලයින්ට වික්‍රමසිංහ මහතා රදවා සිටින දැඩි සත්කාර ඒකකයේ දොරටුව අසලට පමණක් පැමිණිය හැකි බවද කොළඹ ජාතික රෝහලේ ප්‍රධානීන් සඳහන් කළේ ය.

මේ අතර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ නිළධාරින් 11 දෙනෙකු  හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ පසුගිය සිකුරාදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

අනතුරුව ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළේ, අද(26) දිනය දක්වා රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

අධිකරණ නියෝගයෙන් පසු කොළඹ මැගසින් බන්ධනාගාරයට රැගෙන ගිය හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරුණි.

බන්ධනාගාර රෝහලේ සිට පසුගිය සෙනසුරාදා පස්වරුවේ කොළඹ ජාතික රෝහලට රැගෙන ආ හිටපු ජනාධිපතිවරයාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණේ, විජලන තත්ත්වයක් හේතුවෙනි.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ රජයේ මුදල් වලින් සිදු කළායැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව පොදු දේපල පනත යටතේ ගැනෙන චෝදනා මත කෙරෙන විමර්ශනයට අදාළවයි.

2023 වසරේ සැප්තැම්බැර් 22 සහ 23 යන දිනවල මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් භාවිත කරමින් පුද්ගලික සංචාරයක් යෑම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වේ.

මේ අතර, ඊයේ(25) දිනයේත් දේශපාලඥයින් කිහිපදෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ.