සහස්පුර වෙඩි තැබීමේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කෙරේ

සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර...

by Staff writer 11-08-2025 | 11:56 PM

COLOMBO (News 1st) - බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා පැය 24ක කාලයක් රැඳවුම් භාරයේ තබා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (11) අවසර ලබා දුන්නේ ය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි පළමු සැකකරු වන ෂෙහාන් මධුසංඛ යන අය අගෝස්තු මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

ඉකුත් 7 දින රාත්‍රී 8.40 පමණ බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි සිරිසර උයන ක්‍රීඩාංගණය තුළට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් T56 වර්ණයේ ගිනි අවියකින් සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් පස් දෙනෙකුගෙන් දෙදෙනකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව  විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ය.

සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  සැකකරුවා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසයට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවේ සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන බවයි.

කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පළමු සැකකරු අගොස්තු 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සෙසු සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ ය.