ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ස්ටයින් මැදිරියට

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායක, සේනාධිනායක සහ අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් ස්ටයින් මැදිරි සංකීර්ණයට

by Staff writer 08-08-2025 | 11:36 AM

COLOMBO (News 1st) – ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමැන්තා ජෝයි මොස්ටින් මහත්මිය අද(08) රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය වෙත සම්ප්‍රාප්ත වූවාය.

ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ගරු සමැන්තා ජෝයි මොස්ටින් මහත්මිය නිල සංචාරයක් සඳහා, පසුගියදා දිවයිනට පැමිණියා ය.

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා ලෙස සැලකෙන, තුන්වැනි චාල්ස් රජුගේ නියෝජිතයා ලෙස, කිරීටයේ බලතල ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ  අග්‍රාණ්ඩුකාරධුරය හරහායි..

සංචාරය අතුරතුර විශේෂ සාකච්ඡාවක් වෙනුවෙන් රත්මලාන ස්ටයින් ස්ටූඩියෝ වෙත සම්ප්‍රාප්ත වුණු ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමැන්තා ජෝයි මොස්ටින් මහත්මිය,  ස්ටයින් මැදිරි සංකීර්ණය වෙත මහත් හරසරින් පිළිගනු ලැබීය.

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය එරට රාජ්‍ය නායකයා සහ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා ද වේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරයෙකු ශ්‍රී ලංකාවට කරන පළමු සංචාරය මෙයයි.

සමැන්තා මොස්ටින් මහත්මිය කැපිටල් මහරාජා සමූහයේ සමුහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සමග  "නූතන හා බහු සංස්කෘතික ප්‍රජාතන්ත්‍රවාදයක නායකත්වය" යන මාතෘකාව යටතේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වූවා ය.

එම සාකච්ඡාවේ සජීව පටිගත කිරීම ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර, ආණ්ඩුකාරවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කැබිනට් මණ්ඩල සාමාජිකයින් හමුවූවා ය.

අගෝස්තු 6-10 දක්වා ඇයගේ සංචාරය අතරතුර, ගරු ආණ්ඩුකාරවරිය ප්‍රදේශ ගණනාවකට ගොස් ක්‍රියාකාරකම් රැසකට සහභාගී වීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවේ සෘජු ආධාර වැඩසටහන මගින් අරමුදල් සපයන බණ්ඩාරගම මීමැසි පාලන ස්ථානයක්,හික්කඩුවෙහි සුනාමි කෞතුකාගාරය සහ ස්මාරකය,සහ ගාල්ලෙහි ජංගම සෞඛ්‍ය ඒකකයක් දියත් කිරීම ද මේ ක්‍රියාකාරකම් වලට ඇතුළත් වේ.