යෝෂිත සහ ඩේසිට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

යෝෂිත සහ ඩේසිට ගොනු කර තිබෙන නඩුවක් සැප්තැම්බර් මස කැඳවීමට දින නියම වෙයි

by Staff writer 28-07-2025 | 5:23 PM

COLOMBO (News 1st) - මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් සැප්තැම්බර්  22  වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (28)  දින නියම කළේ ය.

නඩුව මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර හමුවේ කැඳවිය.

එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂියක් ලෙස වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

එම විගණන වාර්තාව සකස් කිරීම සඳහා ඊ මේල් පණිවුඩ අඩංගු සීඩී තැටි 26 ක් සහ තවත් විද්‍යුත් උපකරණ කීපයක් භාවිත කර ඇති බැවින් ඒවා විත්තිය හට පරිශීලනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බැවින් ඊට ප්‍රවේශ වී පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.

එහිදී එම ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව රජයේ නීතිඥවරයා පැවසුවේ ය.

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි, චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.