ජනපති අනුරට මාලදිවයිනේදී උණුසුම් පිළිගැනීමක්...

by Staff writer 28-07-2025 | 6:30 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - මාලදිවයින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 60 වර්ෂ පූර්ණයත් සමග, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා අද (28) මාලදිවයිනට පිටත්ව ගියේ ය.

ජනාධිපතිවරයා එහිදී පිළිගැනුණේ මහත් හරසරින්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මාලදිවයිනේ මාලේ අගනුවර ජනරජ චතුරශ්‍රයේදී අද  පස්වරුවේ පැවැත්වුණි.

ඒ, එරට ජනාධිපති ආචාර්ය මොහොමද් මුයිසු මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජනපති අනුර කුමාර දිසානායක මහතා එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර පිළිගත් අතර, ජාතික ආරක්ෂක බලකා පෙළපාලිය ද නිරීක්ෂණය කළේ ය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර ද පිරිනැමිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ තුන් දින නිල සංචාරය ආරම්භ කරමින් දිවයිනෙන් පිටත්ව ගියේ අද උදෑසනයි.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා  සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සමගයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංචාරයේ නිරත වන්නේ මාලදිවයින ජනාධිපති මොහොමද් මුයිසු මහතාගේ ආරාධනයක් අනුවයි.