හිටපු ජනපති රනිල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2022 වැඩබලන ජනපති රනිල්ගේ හදිසි නීති රෙගුලාසිවලින් මුලික අයිතීන් කඩ වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

by Staff writer 23-07-2025 | 11:10 AM

COLOMBO (News 1st) - 2022 වසරේ ජූලි මස 17 වැනිදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේ ය.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පැවසුවේ, වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනතේ 02 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බවයි.

අදාළ රෙගුලාසි බල රහිත කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

විනිසුරු මඩුල්ල රජයට නියම කළේ, පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුණනාදන්, ලිබරල් තරුණ ව්‍යාපාරය වෙනුවෙන් නාමිණී තත්ප්‍රභා පණ්ඩිත, නීතිඥ ආතම් ලෙබ්බේ අසාත් සහ සඳුන් තුඩුගල යන මහත්ම මහත්මීන් විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම් විභාග කළ අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර එකඟත්වය මත තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරිණි.

අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු මහත්මිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින්  ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා වෙනම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර විනිසුරුවරයා පැවසූවේ, එවක වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම හදිසි අවස්ථා රෙගුලාසි නිකුත් කිරීමට හේතු  වූ කරුණු සම්බන්ධව අධිකරණයට කරුණු  ඉදිරිපත් කර නොමැති බවයි.

2022 වසරේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව උද්ඝෝෂණ සහ අරගල සිදුවූ අතර එම තත්ත්වය හමුවේ  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරය අතහැර රටින් පිටව ගිය බව පැවසූ විනිසුරුවරයා පෙන්වා දුන්නේ එම අවස්ථාවේදී වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ ඇතිව තිබූ තත්ත්වය පාලනය කිරීම සඳහා ජූලි 17 මහජන ආරක්ෂක පනතේ දෙවැනි ඡේදය යටතේ රට පුරා හදිසි නීති රෙගුලාසි පනවා ඇති බවයි.

මෙම හදිසි නීති රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවත් එම තීරණය අත්තනෝමතික බවත් සඳහන් කරමින් එම රෙගුලාසි අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන බව විනිසුරුවරයා කියා සිටියේ ය.

පෙත්සම් විභාගයේදී දෙපාර්ශ්වය විසින් දීර්ඝ ලෙස කරුණු දැක්වූ බව පෙන්වා දුන් විනිසුරුවරයා පැවසූවේ, ඉදිරිපත් වූ කරුණු අනුව වැඩ බලන ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනතේ දෙවැනි ඡේදය ප්‍රකාරව නිසියාකාරව හදිසි අවස්ථා රෙගුලාසි පනවා ඇද්ද යන්න තහවුරු කර ගැනීම සම්බන්ධව අවධාණය යොමු කළ බවයි.

පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා මතුකළ මූලික විරෝධය ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, අධිකරණයේ ප්‍රතිපත්ති, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම බව පෙන්වා දුන්නේ ය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු අධිකරණය දීර්ඝ වශයෙන් විමර්ශනයට භාජනය කිරීමෙන් අනතුරුව එම රෙගුලාසි ඉදිරිපත් කිරීම අත්තනෝමතික බවට නිගමනය කළ බව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ ය.

තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසුවේ එවක වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැනවූ හදිසි නීතී රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ සඳහන් වන මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවයි.

අදාළ හදිසි නීති රෙගුලාසි බල රහිත කරන බවත් පෙත්සමකරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙස රජයට නියම කරන බවත් විනිසුරුවරයා පැවසුවේ ය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේ, වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවයි.

රටේ ඒ අවස්ථාව පැවති තත්ත්වය අනුව හදිසි අවස්ථා රෙගුලාසි  ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන බවත් එමගින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් කඩවීමක් හෝ  අත්තනෝමතික ක්‍රියාවන් සිදුවී නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කළේ ය.

ඔබේසේකර විනිසුරුවරයාගේ තීරණයවී තිබුණේ, එම පසුබිම තුළ පෙත්සම්කරුවන්ගේ සියලුම පෙත්සම් නිෂ්ප්‍රභ කළ යුතු බවයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවා මාන්න, නීතිඥ ආචාර්ය. ගිහාන් කුලතුංග,   නීතිඥ තිෂ්‍ය වේරගොඩ ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ශවීන්ද්‍ර වික්‍රම, සම්පත් බණ්ඩාර යන මහත්වරු සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව් ගුණතිලක මහතා පෙනී සිටියේ ය.  .