හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන යළි රිමාන්ඩ්

by Staff writer 18-07-2025 | 5:27 PM

COLOMBO (News 1st) -දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කළ එම්.එම් චන්ද්‍රසේන මහතා අගෝස්තු 1 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද නියෝග කළා ය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියෝග කළා ය.

අද දින නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ විමර්ශන නිළධාරීන් විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසූවේ, සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් බඩ ඉරිඟු බීජ තොගය තමන්ට හිතවත් පිරිස් වෙත බෙදාදීම සඳහා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් යවා ගොවි ජන සේවා මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ට බලපෑම් කර අනුමැතිය ලබාගෙන ඇති බවයි.

උපුටා ගැනීම
“ස්වාමීනි, මේ සැකකරු බඩ ඉරිඟු බීජ තොගය තමන්ට හිතවත් පිරිස් වෙත බෙදාදීම සඳහා  ඔහුගේ ආරක්ෂක නිලධාරීන් යවා ගොවි ජන සේවා මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ට බලපෑම් කර අනුමැතිය ලබාගෙන තිබෙන බව විමර්ශණ වලදී කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම බීජ බෙදා දීමේදී සම්මත  පටිපාටියට පරිබාහිරව ගොස් තමන්ට අවශ්‍ය ආකාරයට එම කාර්යය මොහු විසින් සිදු කර තිබෙන බව හෙළි වී තිබෙනවා. මෙම නඩුවේ පැමිණිලිකරුට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් ආරක්ෂක තත්ත්වය පිළිබඳව තක්සේරුවක් සිදු කර තිබෙනවා. අවසන් තීන්දුවක් ගන්නාතුරු ඔහුට අන්තර් ආරක්ෂාවක් ලබාදීමටත් කටයුතු කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව තවදුරටත් ගොවි ජන සේවා මධ්‍යස්ථානවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල  සේවකයින් 70කගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙනවා ස්වාමීණි. මේ අවස්ථාවේදී සැකකරුට ඇප ලබා දීමෙන් එම ප්‍රකාශ ලබා ගැනීමට නියමිත පුද්ගලයින් හට මොහු විසින් බලපෑම් සිදු කිරීමට ඉඩ තිබෙනවා. එම නිසා ඉදිරි විමර්ශන අවසන් වනතුරු සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරාල මහතා කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් සිදු කළේ ය.

උපුටා ගැනීම
"ස්වාමීනී, පසුගිය නඩු දිනයේ මගේ සේවාදායකයා සම්බන්ධව අල්ලස් කොමිසම පැවසූ කරුණු සියල්ල අසත්‍යයි. අල්ලස් කොමිසම මිනිස්සුන්ව රිමාන්ඩ් කරන්න ඕන උනාම කටට එන ඕනෑම බොරුවක් කියනවා. අල්ලස් කොමිසම හිතාගෙන ඉන්නේ එයාලා නීතියට වගේම අධිකරණයටත් උඩින් ඉන්නවා කියලයි. මේ නඩුවේ පැමිණිලිකරුට සැකකරු විසින් පහරදී බලපෑම් සිද්ධ කර තිබෙන බව අල්ලස් කොමිසම පසුගිය නඩු වාරයේදී කිව්වා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. එම පහර දීමට සම්බන්ධයෙන් අනුරාධපුර අධිකරණයේ තිබෙන බී වාර්තාව මම අද ඉදිරිපත් කරනවා. එම බී වාර්තාවේ මගේ සේවාදායකයාගේ නම කොතැනකවත් සඳහන් වෙලා නෑ. මේ පුද්ගලයාව රිමාන්ඩ් කරන්න තමයි අල්ලස් කොමිසම පසුගියදා මේ වගේ බොරුවක් කිව්වේ. අල්ලස් කොමිසම දැන් කරන්නේ මාධ්‍ය සංදර්ශන. 2014 වසරේ අනුරාධපුර දේශීය උග්‍ර නියඟයක් හටගත්තා. එම අවස්ථාවේදී බඩ ඉරිඟු ගොවීන් වගේම වී ගොවීනුත් දැඩි ලෙස අසීරුවට පත්වුණා. ඒ නිසා ගොවීන්ගෙන් බලපෑමක් එල්ල වුණා සහන මිලට බඩ ඉරිඟු බීජ ලබා දෙන්න කියලා වගා කටයුතු වලට. ඒ අවස්ථාවේදී මගේ සේවාදායකයා කටයුතු කළේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට. ගොවින් ඉල්ලූ පමණින් ඔහුට බීජ ලබාදෙන්න හැකියාවක් නෑ. ඔහු මේ ඉල්ලීම අමාත්‍යංශය ලේකම්වරයාට යොමු කළා. අමාත්‍යාංශය ලේකම්වරයා විසින් අනුරාධපුර දිසා ලේකම්වරයාගෙන් නිසි කරුණු විමසීමකින් පසුව තමයි මේ බීජ මිලදී ගැනීමට ප්‍රතිපාදන වෙන්කළේ. මේ බීජ  තමන්ගේ ආධාරකරුවන්ට විතරක් නෙවෙයි සැකකරු බෙදා දුන්නේ. පක්ෂ බේදයක් නැතුව සියලුම දෙනා අතරේ බෙදා දුන්නා. බෙදා දුන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ. ඒ නිසා ඔහුට අවශ්‍ය ආකාරයට මේවා බෙදුවා කියලා අල්ලස් කොමිසම කරන චෝදනාව සම්පූර්ණයෙන්ම වැරදියි. ඉතිරි වූ බඩ ඉරිඟු තොග ආපසු ලබා දීලත් තියෙනවා. සැකකරු තම හිතුමතයට බෙදුවා නම්  එහෙම කටයුතු කරනවද? ස්වාමීණී මම ඉල්ලා සිටින්නේ සුදුසු ඕනෑම කොන්දේසියක් මත මගේ සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසයි.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත නියෝග ක‍ළේ ය.