.webp)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, මල්වතු - අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභික නායක ස්වාමින් වහන්සේලා සමඟ අද (17) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදීය.
මල්වතු-අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශාසනික මෙන්ම, ජාතික සහ සාමාජීය වශයෙන් සුවිශේෂී කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ විය.
ශාසනික වශයෙන් උද්ගතව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත ආදී විවිධ පනත්වලට කාලීන සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සහ භික්ෂු අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලදී.
වත්මන් අභියෝග හඳුනාගෙන ආගමික හර පද්ධති සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට රජය මුල් වී වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම සහ ශාසනික ගැටලු උදෙසා මෙන්ම ශාසනික උන්නතිය උදෙසා රජයේ කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බුද්ධශාසන කාර්ය සාධක උපදේශක සභාවක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ශාසනික වශයෙන් පවතින විවිධ අභියෝග සහ ගැටලු විසඳීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන කඩිනමින් සකස් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
මල්වතු මහාවිහාර පාර්ශ්වය නියෝජනය කරමින් පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී නන්දාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය දොරණෑගම ශ්‍රී රතනපාල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය වෙලගෙදර ශ්‍රී සුමනජෝති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද, අස්ගිරි මහා විහාර පාර්ශ්වය නියෝජනය කරමින් පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය ගොඩගම ශ්‍රී මංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය මැදගම ශ්‍රී ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය කැටකුඹුරේ ශ්‍රී ධම්මාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන මහත්වරුද එක්ව සිටියහ.