එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරුවෙක් වූ ශානි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම: ශානි අබේසේකර සාක්ෂිකරුවෙක් ලෙස නම් කෙරේ

by Staff writer 16-07-2025 | 10:10 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධව විභාග වන නඩුවේ සාක්ෂිකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානී අබේසේකර මහතා නම් කර ඇතැයි, නීතිපතිවරයා අද (16) අධිකරණයට දැනුම් දුන්නේ ය.

නීතිපතිවරයා ඒ බව දැනුම් දුන්නේ ආචාර්ය නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ ගිරිතලේ යුධ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි කුමාරරත්න මහතා ඇතුළු යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා විසින් වැඩිදුර සාක්ෂි විභාගය මෙහෙයවනු ලැබීය.

ඒ අනුව තිර පිටපත් හා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන වසන්ත කුමාර, හිටපු එල්ටීටී සාමාජිකයකු වූ ශිව කුමාර් හා විශ්‍රාමික යුධ හමුදා සෙබල සම්පත් කුමාර වීරතුංග යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සිකුරාදා පෙරවරු 10.30 යළි සිදු කිරීමට නියමිතයි.