ජනක බණ්ඩාරට එරෙහි අභියාචනයක් කැඳවීමට දින නියම වෙයි

මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් ජනක බණ්ඩාරට එරෙහි අභියාචනයක් කැඳවීමට දින නියම වෙයි

by Staff writer 15-07-2025 | 5:45 PM

COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ තැත් කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති අධි චෝදනා පත්‍රයක් බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

පෙත්සම  ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවිය.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ, වගඋත්තරකාර හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බවත්, ඔහුට ඇවිදීමේ අපහසුතාවක් පවතින බව අධිකරණය දන්වා සිටියේ ය.

ඒ අවස්ථාවේදී පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 03 වැනිදා කැඳවීමට දින නියම කළේ ය.1999 වසරේ මාතලේ,  දඹුල්ගමුව ප්‍රදේශයේදී දහඅට ඇවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව  මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්  මහතාට එරෙහිව මහනුවර මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කෙරුණු අතර එම අධි චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීති විරෝධී යැයි සඳහන් කරමින් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාදීකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම රිට් පෙත්සම  විභාග කළ අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා විසින් විත්තිකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව  ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර  නීතියට පටහැනී යැයි, තීන්දු කරමින් 2020 වසරේ එය බල රහිත කරමින් රිට් ආඥාවක් ද නිකුත් කළේ ය.

ඒ අනුව අභියාචනාදීකරණයේ එම නියෝගය නීතියට පටහැනි බවත් ඒ අනුව එම අභියාචනාධිකරණ නියෝගය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබේ.