අත්අඩංගුවට ගත් RMV තිදෙනාට ඇප...

අනීතිකව වාහන ලියාපදිංචි කිරීමක් හේතුවෙන් අත්අඩංගුවට ගත් RMV තිදෙනාට ඇප...

by Staff writer 14-07-2025 | 11:50 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස වාහන ලියාපදිංචි කළ බව කියන සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු සහකාර කොමසාරිස්වරිය ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (14) නියෝග කළේ ය.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද පස්වරුවේ මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන සූර්යා ප්‍රියංගනී සිරිමාන්න සහ එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහකාර සංජීව කුමාර, අධීක්ෂණ නිලධාරියකු වන ඉන්දික ලක්ෂ්මන් යන තිදෙනා මෙලෙස ඇප මත මුදා හැරිණි.

නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙමින් පවතින බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් කරමින් සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් වෙන් වෙන්ව රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළේ ය.