පොලිස් දැලට හසුවූ කෝටි ගාණක් වටින යකඩ හීන...

පොලිස් දැලට හසුවූ කෝටි ගාණක් වටින යකඩ හීන...

by Staff writer 12-07-2025 | 7:23 PM

COLOMBO (News 1st) - නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද  යතුරු පැදි 8ක්, ට්‍රයිසිකල් 4ක් ඇතුළු යතුරු පැදි 21ක් හම්බන්තොට නගර වැව කුරුළු උයන ගබඩාවක තිබී සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්, අද (12) සිදුකළ වැටලීමකදී එම යතුරුපැදි සොයා ගැනීමට හැකි වූ බවයි.

පොලිස් භාරයට ගත් යතුරුපැදි අතරින් 8ක් හාලි ඩේවිඩ්සන් වර්ගයේ යතුරුපැදි වන අතර ට්‍රයිසිකල් 4 ද එම වර්ගයට ඇතුළත් වේ.

සෙසු ඒවා, විවිධ රටවල නිෂ්පාදිත යතුරුපැදි බව, පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය සඳහන් කළේ, හාලි ඩේවිඩ්සන් වර්ගයේ එක් යතුරුපැදියක් රුපියල් කෝටි එකහාමාරකට අධික මිලකට මෙරට තුළ අලෙවි වන බවයි.

ගබඩාවේ තිබී සොයා ගත් සියලු යතුරුපැදිවල වටිනාකම, රුපියල් කෝටි 20 ඉක්මවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුළු උයනේ කළමනාකරු සහ ගබඩා පාලකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

40 සහ 50 හැවිරිදි සැකකරුවන් මාතර සහ මිද්දෙනිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

එම යතුරුපැදි මෙරටට නීතිවිරෝධීව ගෙන්වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කළ බව, පොලීසිය සඳහන් කළේ ය.

ඊට අමතරව විමර්ශනවලදී කුරුළු උයන පරිශ්‍රයේ වගා කර තිබූ ගංජා පැළ තොගයක් ද, පොලිස් භාරයට ගෙන තිබේ.

කුරුළු උද්‍යානයේ හිමිකරු බව කියන නැමැත්තෙකු සම්බන්ධයෙන් ද, වැඩිදුර විමර්ශන පොලීසිය ආරම්භ කර තිබේ.