.webp)
පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේ ය.
මෙම පෙත්සම අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනා විසින් ගොනු කර තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වනවිට පුරප්පාඩුව පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106 ක් පිරවීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 13 වැනිදා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබූ බව පැවසුවේ ය.
එම ගැසට් නිවේදනයේ අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව වෙනත් සුදුසුකම් යටතේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට දක්වා තිබූ බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දුන් නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12(1) සහ 12(2) ව්‍යවස්ථාවන් යටතේ පෙත්සම්කාර කාන්තාවන්ට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය සහ ලිංගිකත්වය මත වෙනස් ආකාරයේ සැලකිල්ලකට භාජනය නොකළ යුතු බව සඳහන් මූලික අයිතිය උල්ලංඝනය වන බව අවධාරණය කළේ ය.
යමෙකුට තමන් කැමති රැකියාවක් කිරීමට තිබෙන මූලික අයිතියද මෙම ගැසට් නිවේදනය තුළින් උල්ලංඝනය වන බව නීතිඥවරයා පවසා සිටියේ ය.
මෙම ක්‍රියාව තුළින සිය සේවාදායකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ ගැසට් නිවේදනයේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට සඳහන් කොටස ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ ගැසට් නිවේදනය තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතිද යන්න සොයා බැලීම සඳහා පෙත්සම විභාගයට කැඳවීමට නියම කළේ ය.
පෙත්සම අගෝස්තු මස 27 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතයි.