නිසි තොරතුරු සටහන් නොවන ලුණු පැකට්වලට නීතිමය පියවර

නිසි තොරතුරු සටහන් නොවන ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර - පාරිභෝගික අධිකාරිය

by Staff writer 30-06-2025 | 8:44 AM

COLOMBO (News1st) - නිසි තොරතුරු සටහන් නොවන ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු මෙන්ම සිල්ලර මිල සඳහන් නොවන ලුණු පැකට් වෙළඳපොළට නිකුත් කිරීමට ඇතැම් ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් කටයුතු කර ඇති බවයි.

එවැනි නිෂ්පාදන මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදු නොකරන ලෙස, ජනතාවට දැනුම් දෙන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය ව්‍යාපාරිකයින්ට දැනුම් දෙන්නේ, භාණ්ඩ සැපයු ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙසය.

එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ළඟ තබා ගන්නේනම් ඒ සම්බන්ධව ද නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ ය.