දරු ප්‍රසූතියට අමෙරිකාවට ගියොත් වීසාවලට වෙන දේ..

දරු ප්‍රසූතියට අමෙරිකාවට ගියොත් වීසාවලට වෙන දේ මෙන්න!

by Staff writer 27-06-2025 | 9:49 AM

COLOMBO (News1st) -කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එම අනතුරු ඇඟවීමේ දක්වා ඇත්තේ, තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීම සඳහා දරු ප්‍රසූතියක් කිරීමේ අරමුණින් සංචාරක වීසා මත එක්සත් ජනපදයට යන අයට අනාගතයේ වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ඇති බවයි.

තානාපති කාර්යාලය සිය X ගිණුමේ පළකරන ලද පණිවිඩයක දැක්වෙන්නේ, එවැනි සංචාරකයන් බොහෝවිට එක්සත් ජනපද රජයෙන් අරමුදල් සපයන වෛද්‍ය ආධාර මත විශ්වාසය තබන බවත්, එමගින් අමෙරිකානු බදු ගෙවන්නන් මත මූල්‍යමය බර පැටවෙන බවත්ය.

පුරවැසි ප්‍රතිලාභ සඳහා දරු ප්‍රසූතිය අයැදුම්කරුවකුගේ ප්‍රධාන අරමුණ යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම්, සංචාරක වීසා ප්‍රතික්ෂේප කරන ලෙස අමෙරිකානු කොන්සියුලර් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කරයි.