.webp)
ම්බෙකි මහතා, මැන්ඩෙලා ජනාධිපතිවරයාගේ රජයේ අග්‍රාමාත්‍ය ධුරයද හොබවමින් සිය ජනතා මෙහෙවර අඛණ්ඩව ක්‍රියාත්මක කළේ ය.
1994 මැයි මාසයේදී නෙල්සන් මැන්ඩෙලා මහතා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය හෙබවූවද නිල නොලත් ජනාධිපතිවරයා වූයේ
තාබෝ ම්බෙකි මහතා බව බොහෝ දෙනා දන්නා කරුණකි.
පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකානු නායක මැන්ඩෙලාගේ අනුප්‍රාප්තිකයා වූ ඔහු 1999 ජුනි මාසයේ සිට 2008 සැප්තැම්බර් මාසය දක්වා අප්‍රිකාවේ ජනාධිපති ධුරය හෙබවූවේ ය.
අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ප්‍රමුඛයෙකු වූ තාබෝ ම්බෙකි මහතා හැටේ දශකයේ වර්ණභේදවාදයට එරෙහි අරගලයේදී කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ නායකයෙකි.
80 දශකයේ අගභාගයේදී අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපති ඔලිවර් ටැම්බෝ ගේ මග පෙන්වීම යටතේ ම්බෙකි මහතා වර්ණ භේදවාදය තුරන් කිරීම සඳහා විවිධ පාර්ශ්ව සමග පැවැති රහසිගත සාකච්ඡා වලට නායකත්වය දී තිබේ.
වර්ණභේදවාදය පිටු දැක දේශපාලන විසඳුමක් ඇති කර ගැනීම සඳහා 1990 සිට 1994 දක්වා කාලයේ සිදු වූ සාකච්ඡා වලදී ඔහු වටිනා කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් ය.
ම්බෙකි මහතා එසේ කැප වී ක්‍රියා කළේ, ලොව වඩාත්ම සම්භාවනාවට පාත්‍රවන ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හා පශ්චාත් වර්ණභේදවා දී රාජ්‍යයක් ස්ථාපනය කිරීමේ අරමුණ උදෙසායි.
මුලදී මහා අප්‍රිකාවක අවශ්‍යතාව දුටු තාබෝ ම්බෙකි මහතා පසුව අධ්‍යාපනය හා සෙසු ක්ෂේත්‍ර ඔස්සේ දිදුලන අප්‍රිකාවක දැක්ම ප්‍රකට
කළේ ය.
ඔහු 1971 සිට දශක දෙකකට ආසන්න කාලයක් මව්බිමෙන් පිටුවහල්ව ස්වාසිලන්තය, බොට්ස්වානා, නයිජීරියාව සහ සැම්බියාව යන රටවල ජීවත් විය.
නයිජීරියාවේ ගත කළ කාලයේදී එහි පිහිටා තිබූ අප්‍රිකානු ජාතික කොංග්‍රස් කාර්යාලයේ ප්‍රධානත්වය ඉසිලුවේ ම්බෙකි මහතායි.
ඒ, 1976 දෙසැම්බර් මාසයේ සිට 1978 මුල් භාගය දක්වායි.
එම වකවානුවේ දී අප්‍රිකාවේ විශාලතම රාජ්‍යය වන නයිජීරියාවේ කළු ජනයාගේ ස්වයං අභිමානය හා සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ ආභාසය ලැබු තාබෝ ම්බෙකි මහතා එවක නයිජීරියාවේ හමුදා ප්‍රධානියා වූ ඔලුසෙගුන් ඔබසන්ජෝ සමගද සමීප සබඳතා පැවැත්වූවේ ය.
එම සබඳතාව පසු කාලයේදී අප්‍රිකාවේ සාමය ගොඩනැගීමටත් අප්‍රිකානු සමගි සංවිධාන බිහි කිරීමට බෙහෙවින් ඉවහල් විය.
තමා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ බලාධිකාරය තාබෝ ම්බෙකි මහතාගේ තීන්දු තීරණ වල නිතැතින් දක්නට ලැබුණු අතර ඔහු ප්‍රකටව සිටියේ සැම විටම ව්‍යවස්ථාවට ගරු කරන්නෙකු ලෙසයි.
සිය ජීවිත කාලයේ වසර පනස් දෙකක්ම අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සහ අප්‍රිකාවේ දේශපාලනය වෙනුවෙන් කැප කළ තාබෝ ම්බෙකි මහතා, ලෝක දේශපාලනයේ අදටත් ජීවමානව සිටින යුග පුරුෂයෙකි.