කටාර් සහ කුවේට් බලා ගිය යානා යළි කොළඹට

කටාර් සහ කුවේට් බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානා යළි කොළඹට

by Staff writer 24-06-2025 | 2:29 PM

COLOMBO (News 1st) - කටාර් සහ කුවේට් බලා ඊයේ (23) පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානා, යළි කොළඹට ගෙන්වාගැනීමට කටයුතු කර තිබේ.

ඉරානය, ඊයේ කටාර් රාජ්‍යයේ කළ පහරදීම හේතුවෙන් මැදපෙරදිග රටවල් කිහිපයක් සිය ගුවන් අවකාශ තවකාලිකව වසා දැමුණු අතර, ශ්‍රී ලංකන් ගුවන් යානා ආරක්ෂිත ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කළේ ය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ, නැවත පැමිණෙන යානා ඕමාන් වෙත ගොඩබස්සවා ඉන්ධන ලබා ගැනීමෙන් පසු, යළි මෙරටට පියාසර කරන බවයි.

ඒවායේ ගමන් ගත් විදෙස් මගීන් හෝටල් වෙත යොමු කර ඇති අතර, ලාංකික මගීන් සිය නිවෙස් වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් සමාගම පැවසුවේ ය.

අදාළ යානා නැවත ගමන් ගන්නා වේලාවන් සම්බන්ධයෙන් පවතින ආරක්ෂිත තත්ත්වය සමාලෝචනයෙන් පසු තීරණය කිරීමට නියමිතයි.

මේ අතර, ඩුබායි, අබුඩාබි සහ රියාද් බලා පියාසර කළ ගුවන් යානා සුළු ප්‍රමාද වීම්වලින් අනතුරුව ආරක්ෂිතව එම රටවලට ගොඩබැස්ස වූ බව ද  ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

එම සමාගම සඳහන් කළේ, සෙසු ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුකරමින් ඇති බවයි.