මානව හිමිකම් මහ කොමසාරිස් හා විජිත හේරත් අතරහමුවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුව අද.

by Staff writer 24-06-2025 | 10:29 AM

COLOMBO (News1st) - නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට  නියමිතව තිබේ.

ඔහු ඊයේ(23) පස්වරුවේ දිවයිනට පැමිණියේය .

2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙයයි.

සංචාරය අතරතුර ඔහු, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය ඇතුලු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් රැසක් හමුවීමට නියමිතයි.

ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් සහ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සමඟ ද, ඔහු සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා මහනුවර ශ්‍රී දළඳා මාළිඟයට ගොස් දළඳා වහන්සේ වැඳපුදා ගැනිමට නියමිත ය.

මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීම ද, ඔහුගේ මහනුවර සංචාරයේදී සිදු වේ.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා යාපනයේ සහ ත්‍රිකුණාමලයේ ද, සංචාරය කරන බවයි.

එහිදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් සමඟ ද, ඔහු සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදු කරන ඵලදායී සබඳතා වලට අනූව මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය මෙන්ම ආරක්ෂා කිරීම තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි, එම සංචාරයේදී සැලකිය යුතු අවධානයක් යොමු වනු ඇතැයි විදේශ කටයුතු  අමාත්‍යාංශය සඳහන් කළේ ය.

දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, ලබන 26 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති.