ජනපති අනුර අද ජර්මානු ජනපති හමුවෙයි.

ජනපති අනුර අද ජර්මානු ජනපති හමුවෙයි.

by Staff writer 11-06-2025 | 6:53 AM

COLOMBO (News 1st) - ජර්මන් සංචාරය අරඹමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(11) එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් හමුවීමට නියමිතව තිබේ.

තුන් දින නිල සංචාරයක් අරඹමින් ජනාධිපතිවරයා ඊයේ(10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි.

ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් හමුවීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව සිටියි.

මේ අතර ජර්මානු සංචාරය හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සදහා එම පත් කිරීම් කර ඇති බවයි.

එමෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහාද වැඩබලන අමාත්‍යවරුන් පත්කර තිබේ.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පත් කෙරුණි.

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතායි.

ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත්කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතායි.