වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම්...

වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම්...

by Staff writer 10-06-2025 | 6:23 PM

COLOMBO (News 1st) - හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසංතුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ,සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි.

එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර හෙට (11) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී 50-60 ක පමණ තද සුළං ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේත, අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.