රැඳවියන් නිදහස් කිරීමේ සිද්ධියට තවත් පරික්ෂණයක්..

ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයෙනුත් පරික්ෂණයක්...

by Staff writer 10-06-2025 | 9:08 AM

COLOMBO (News 1st) - ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයත් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, එම විනය විරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද වෙනම විමර්ශනයක් සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධව, අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට අමතරව තවත් පුද්ගලයින් සිටින්නේදැයි සොයා බැලිම සදහා තවදුරටත් පරික්ෂණ සිදු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ඊයේ(09) රාත්‍රියේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

ඔහුගේ වැඩ තහනම් කිරීමට ද ඊයේ(09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.

ඒ, ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.

බන්ධනාගාර කොමසාරිස් - මෙහෙයුම්, ගාමිණී බී දිසානායක මහතා ද, ඊයේ  පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණේ, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමටයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා, ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පෝදා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන්, විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ.