මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25% ක්ම පාසල් සිසුන්...

මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25% ක්ම පාසල් සිසුන්... - ජාතික ඩෙංගු මර්දන ඒකකය

by Staff writer 06-06-2025 | 8:32 AM

COLOMBO (News1st) - මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පාසල්වලින්  50% ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බවයි.

ඉන් 14% කින් මදුරු කීටයින්ද හමුවී ඇති බව ඇය ප්‍රකාශ කළා ය.

මෙවැනි තත්ත්වයක් හමුවේ පාසල් පද්ධතිය පිරිසිදුව තබා ගැනීමට සිසුන් මව්පියන් හා ගුරුවරුන් විසින් වගබලා ගැනීම අතිශයින් වැදගත්  කාර්යයක් බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කළේ ය.

මේ අතර පාසල්වල ඩෙංගු මර්දනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පාසල් කාලාපවලට බෙදා පිරිසිදු කිරීම මෙන්ම ඒ සඳහා වගකියන ගුරුවරයෙකු පත් කිරීමටද උපදෙස් දී තිබේ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අංශ සමග ඒකාබද්ධව පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීමට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි.‍

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24361 කි.