.webp)
ශ්‍රේෂ්ඨාධිකරණය මීට අදාළ නියෝගය ඊයේ(03) ප්‍රකාශයට පත් කළේ, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක තීන්දුව ලබා දෙමින්ය.
එස්. තුරෙයි රාජා, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් තීන්දුව ප්‍රකාශ කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා කියා සිටියේ 2015 වසරේ ජනවාරි මස පළමු වනදා සිට 2016 වසරේ මාර්තු මස 31 වනදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතු වලදී අක්‍රමිකතා සිදුවූ බවට පැමිණිලි ඉදිරිපත් වූ අතර මේ හේතුවෙන් රටේ ආර්ථිකයට බිලියන ගණනක පාඩුවක් සිදු වූවේ යැයි ප්‍රකාශ වී තිබෙන බවයි.
මෙම ක්‍රියාව තුළින් ජාතික ආර්ථිකය මෙන්ම මහජන විශ්වාසයද බිඳ වැටීමට හේතු වූ බව තීන්දුවේ සඳහන් වේ.
2016 වසරේ නොවැම්බර් මස 25 වන දා එවක මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර ස්වාමි මහතා විසින් සිදුකළ ලිඛිත පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කර තිබේ.
ඊට අමතරව මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපතිවරයා විසින් පරීක්ෂණ කොමිසමක් ද පත් කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලට අනුව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සැකකරුවකු වශයෙන් නම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.
පසුව රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ ය.
තමන්ට එරෙහිව වරෙන්තු නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා රවී කරුණානායක මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාග කළ අභියාචනාධිකරණය රවී කරුණානායක මහතාට එරෙහි වරෙන්තුව බල රහිත කරමින් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කර තිබුණි.
ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු දෙකක් පවරනු ලැබීය.
එහිදී නීතිපතිවරයා විසින් තමන් විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් එය බල රහිතකර ලෙසත් ඉල්ලා රවි කරුණානායක මහතා විසින් අභියාචනාධිකයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව 2023 වසරේ පෙබරවාරි මස 28 වන දා එම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය රවි කරුණානායක මහතා අදාළ නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළේ ය.
ඉන් අනතුරුව එම අභියාචනාධිකරණ තීන්දුවට විරුද්ධව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කර තිබුණි.
ඒ පිළිබඳ දීර්ඝ විභාගයක් පැවැත්වූ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රවී කරුණනායක මහතා විත්තිකරු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කරමින් 2023 වසරේ පෙබරවාරි මස 28 වනදා අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුව ගාස්තුවට යටත්ව ඉවත දමන බවට තීන්දු කළේ ය.